TIN අංකයක් නැතත් රඳවා ගැනුම් බද්දේ සහනය ඉල්ලා සිටිය හැකියි.

යසංග මහාවිතාන

ටින් අංකයක් නොමැති වුවද තැන්පතු මුදල් මත අය කෙරෙන රඳවා ගැනීමේ බද්දේ සහනය ලබා ගැනීම සඳහා වන ස්වයං ප්‍රකාශනය බැංකු වෙත යොමුකළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.

ඊයේ (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මේ බව ප්‍රකාශ කරන ලදී.

එසේ භාරගන්නා ස්වයං ප්‍රකාශනවල හිමිකරුවන්ට දේශිය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ටින් අංකය ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කරන බවද  එම සාකච්ඡාවේදී ප්‍රකාශ විය

මෙවර අයවැය මගින් මහජනතාවගේ මුදල් තැන්පතු සඳහා ලැබෙන පොලිය මත මෙතෙක් අයකළ 5%ක රැඳවුම් බද්ද 10% දක්වා ඉහළ දමන ලදී.

නමුත්  වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18ට වඩා අඩු  පුද්ගලයන්ගෙන් මෙම රැඳවුම් බද්ද අයකර පුද්ගලයන්ගෙන් එසේ වාර්ෂික ආදායම ලක්‍ෂ දහඅටට වඩා අඩු පුද්ගලයින්ට බැංකු හා මූල්‍ය ආයතන වෙත මෙම ස්වයං ප්‍රකාශනය ඉදිරිපත් කළ හැකි බව රජය ප්‍රකාශ කරයි.

එම ස්වයං ප්‍රකාශනයට TIN අංකය අනිවාර්ය බැවින් එය ලබාගැනීම සඳහා මේ දිනවල විශාල ජනකායක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැමිණමෙින් සිටින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

….“… වාර්ෂික ආදායම ලක්ෂ 18 ඉක්මවන්නේ නැත්නම් මූල්‍ය ආයතන වෙත ස්වයං ප්‍රකාශයක් සිදුකරන්න පුළුවන්. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ එම ප්‍රකාශය තිබෙනවා. ප්‍රකාශය කරන පුද්ගලයාට TIN අංකයක් තිබිය යුතුයි. TIN අංකය ලබාගැනීමට විශාල පිරිසක් පැමිණෙනවා. TIN අංකය නැතුව ප්‍රකාශය භාරගන්න කියලා බැංකුවලින් ඉල්ලීම් කළා. මේ මාසයේ TIN අංක නොමැතිව ප්‍රකාශ ලබාදෙන අයගේ විස්තර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට TIN අංකය ලබාදෙන්න පුළුවන්. වැරදි ප්‍රකාශන ලබාදෙන අයට එරෙහිව දඬුවම් දීමේ විධි විධාන තිබෙනවා.….”

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් කේ.එස් ශාන්ත මහතා  ප්‍රකාශ කළේ එවැනි අදහසකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *