Clean Sri Lanka යටතේ උඩවලව සංචාරක කලාපය කඩිනමින් සංවර්ධනය කරනවා

රංජන් මඩගම්මන- ඇහැලියගොඩ 

Clean Sri Lanka යටතේ උඩවලව සංචාරක කලාපය කඩිනමින් සංවර්ධනය කරනවා

– සබරගමු පළාත් ආණ්ඩුකාර –

Clean Sri Lanka වැඩසටහන යටතේ රත්නපුර, උඩවලව සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් කඩිනමින් විධිමත්ව සංවර්ධනය කරන බව සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය පසුගියදා (29) සඳහන් කළාය.

එම මහත්මිය මේ බව සඳහන් කළේ එදින Grand Udawalawa සංචාරක නිකේතනයේදී පැවති උඩවලව හෝටල් සහ සෆාරි සංගම්වල නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවට එක් වෙමිණි.

සබරගමු පළාත් ආණ්ඩුකාරවරිය  විසින් මෙදින (29) උඩවලව ඇත් අතුරු සෙවන, උඩවලව ජලාශය සහ උඩවලව ප්‍රදේශය ද නිරීක්ෂණය කරනු ලැබීය.

මෙහිදී අදහස් දැක්වූ සංචාරක සංගමයේ නිලධාරීන් පැවසුවේ ශ්‍රී ලංකාවේ තරු හතරේ එකම හෝටලය පිහිටා ඇත්තේ උඩවලව ආශ්‍රිතව බවය.

එමෙන්ම විවිධ කාණ්ඩවලට අයත් හෝටල් සහ Homes Stay දෙසිය පනහක් (250) පමණ උඩවලව සංචාරක කලාපය ආශ්‍රිතව පවතින බව ඔවුන් සඳහන් කළේය.

උඩවලව ආශ්‍රිතව ප්‍රජාවගෙන් සියයට අනූවකගේ පමණ ජීවන වෘත්තිය පවත්වාගෙන යනු ලබන්නේ ද සංචාරක ක්ෂේත්‍රය මත පදනම්ව බව ද ඔවුහු පැවසූහ.

මීට එක්වූ සංගම්වල නියෝජිතයින් පැවසුවේ වීදි ලාම්පු නොමැති වීම, බල්ලන්,  හරකුන්  බහුලව සිටීම දෙස්, විදෙස් සංචාරකයින්ට විධිමත් සනීපාරක්ෂක පහසුකම් නොමැති වීම උඩවලව ජාතික වනෝද්‍යානය තුළ ඇති මාර්ග පද්ධතිය අබලන් වීම, උඩවලව ජාතික වනෝද්‍යානයේ සිටින අලි ඇතුන් උඩවලව – තණමල්විල මාර්ගය අසල ගැවසීම ඇතුළු ගැටළු රැසක් පවතින බවය.

මෙහිදී අදහස් දැක්වූ සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය පැවසුවේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් Clean Sri Lanka වැඩසටහන රජය මඟින් ක්‍රියාත්මක කරන බවයි.

එහි එක් අංගයක් ලෙස සංචාරක ව්‍යාපාරය  ඇතුළත් වන බැවින් උඩවලව සංචාරක කලාපය Clean Sri Lanka වැඩසටහන යටතේ සංවර්ධනය කරන බව ද සබරගමු පළාත් ආණ්ඩුකාරවරිය  පැවසුවාය..

මෙම අවස්ථාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී  උපුල් කිත්සිරි මහතා පැවසුවේ වන සම්පත්, වාරිමාර්ග, වනජීවි  ,සංචාරක අමාත්‍යංශ, සබරගමු පළාත් සභාව, ප්‍රාදේශීය සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය, ජල සම්පාදන මණ්ඩලය, විදුලි බල මණ්ඩලය, නාගරික සංවර්ධන අධිකාරිය යන රාජ්‍ය ආයතන හා පෞද්ගලික අංශය ඒකාබද්ධව උඩවලව සංචාරක කලාපය සංවර්ධනය කරන බවයි.

මෙම අවස්ථාවට පළාත් මාර්ග, සංචාරක ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශ ලේකම් සංජීව ගොඩැල්ලවත්ත, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා ලේකම් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *