සංජීවනී පද්මසේන
මේ දිනවල බොහෝ වනලෝලී සහෘද නෙත් වලට කඳුළු නැංවූ මහබුලන්කුලම ආබාධිත අලියා හොරොව්පතානට රැගෙන යාමට සියළු කටයුතු සූදානම් කර තිබුනද අලියාගේ ඉතා දුර්වල සෞඛ්‍ය තත්ත්වය සළකා බලා අලියා රැගෙන නොයාමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
මෙලෙස ඉතා දුර්වල ව රෝගී වී සිටින අලියා ගම්මානයෙන් ඉවත් කරන ලෙස ගම් වැසියන් දැඩි ලෙස ඉල්ලා සිටියද අලියාට ආදරය කරන සත්ත්ව සංවිධාන හා සත්ත්ව ලෝලීන් ඊට බොහෝ සේ විරුද්ධ වූයේ එය ඉතා කෲර ක්‍රියාවක් ලෙස සලකමිනි.
මේ රෝගී අලියා ප්‍රවාහනය කිරීමට තරම් සුදුසු යහපත් සෞඛ්‍ය තත්ත්වයක නැති බව තීරණය කළ වන ජීවී සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා අලියාට මෙම ස්ථානයේම ප්‍රතිකාර කිරීමට තීරණය කර තිබේ. අලියා සංරක්ෂණය කිරීම සඳහා සුදුසු ඉඩමක් මේ වනවිට ලැබී ඇත.
රෝගීව ඉමහත් අසරණව සිටින මේ සද්දන්තයාට සිය උපන් බිමෙහිම අවසාන කාලය ගත් කිරීමට ඉඩ හසර සළසා දුන් වෛද්‍ය තාරක ප්‍රසාද් මහතාටද වෛද්‍ය චන්දන මහතාටද වනජීවී නිලධාරීන්ටද අලියා වෙනුවෙන් හඬ අවදි කළ වන ලෝලී සියළු දෙනාටද thuth.lk වෙබ් අඩවියෙහි අපගේ හද පිරි ස්තූතිය පුද කරන්නෙමු.


