(මොහොමඩ් ආසික්)
වයස අවුරුදු 17 ක තරුණයෙකුගේ ප්‍රධානත්වයෙන් රුපියල් එක් කෝටි හැට පන් ලක්ෂයකට ගජ මුතු තුනක් විකිණීමට සැලසුම් කළ කණ්ඩායමක් කටුගස්තොට පොලීසියේ දූෂණ මර්ධන අංශය විසින් විශේෂ මෙහෙයුමක් සිදු කර අත්අඩංගුවට ගෙන තිබේ.
පොල්ගොල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක රැඳී සිටිමින් යම් පිරිසක් ගජමුතු තුනක් විකිණීමට සූදානම් වන බවට පොලීසියට ලැබුණු තොරතුරක් අනුව පොලිස් නිලධාරින් මෙම ගජමුතුවල ගැනුම්කරුවන් ලෙස පෙනී සිටිමින් අදාළ කණ්ඩායම සම්බන්ධ කර ගෙන තිබේ. මෙම ගජමුතු තුනේ වටිනාකම රුපියල් එක් කෝටි හැට පන් ලක්ෂයක්( 1,65,00,000.00) ලෙස ලන්සු ලබා තිබේ. පොලීසිය මෙම පිරිසට පවසා ඇත්තේ තමන් මෙම ගජමුතු මිල දී ගැනීමට කැමැති බවත් ඒ සඳහා මුලින් පරීක්ෂා කළ යුතු බවත්ය . ඒ අනුව ඔවුන් විසින් දන්වනු ලැබූ ස්ථානයට වෙස් වලා ගත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු ගොස් මෙම ගජමුතු පරීක්ෂා කරන අතර තුර අනෙකුත් පොලිස් නිලධාරින් ස්ථානය වටලා සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇති අතර ගජමුතුද සිය භාරයට ගෙන තිබේ.
මෙහිදී සැකකරුවන් පස් දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර එයින් ප්‍රධාන සැකකරු වයස අවුරුදු 17 ක් වයසැති තරුණයෙකු වන අතර ඔහුගේ මුල් පදිංචිය ගල්නෑව ප්‍රදේශයේ වන බවත් දැන් ඔහු දොරගමුව ප්‍රදේශයේ පදිංචි බවටත් හෙළි වී තිබේ. අත් අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් හතර දෙනා අවුරුදු 18 ත් 37 ත් අතර පසුවන්නන් වන අතර ඔවුහු හුරිගස්වැව, වත්තේගම , අකුරණ සහ ඇල්කඩුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙති.
මෙම ගජමුතු 17 හැවිරිදි තරුණයා ඇතුළු මෙම පිරිසට ලැබුණේ කෙසේද යන්න පිළිබඳව ඇතුළුව මේ සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය කියයි.
කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.සී. රාජපක්ෂ මහතාගේ උපදෙස් මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක විජේසිංහ, උප පොලිස් පරීක්ෂක ගුණවර්ධන, සැරයන් 68717 ලක්මාල්, 47059 සුබරත්න, පොකො 74189 කුලතුංග, 90437 මහේෂ, 84536 සංජීව යන මහතුන් මේ සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදු කළහ.

