යසංග මහවිතාන
පෑනක් ආකාරයට සූක්ෂම ලෙස නිෂ්පාදනය කරන ලද ගිනිඅවියක් ළඟ තබා ගත් පුද්ගලයකු කළුතර අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
කළුතර අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ සවස පානදුර හොරේතුඩුව පාලම අසල සැකකටයුතු ලෙස සිටි පුද්ගලයකු පරීක්ෂා කිරීමේදී මෙම ගිනි අවිය හමුවී තිබේ.
අදාළ පුද්ගලයා විසින් සාක්කුවේ දමාගෙන සිටි මෙම අවිය විදේශ රටක නිෂ්පාදිත පෑනක් ආකාරයෙන් භාවිතා කළ හැකි ය. ගිනිඅවිය , එම අවියට යොදන ජීව උණ්ඩ තුනක් සහ එම අවිය බහාලන බහලුමක් මෙම පුද්ගලයා සමඟ අත්අඩංගුවට ගෙන තිබේ
මෙය විදේශ රටක නිෂ්පාදිත, ක්‍රියාකාරී තත්ත්වයේ තිබෙන ,මනුෂ්‍ය ඝාතනයක් සඳහා ඉතා සූක්ෂම ලෙස භාවිත කළ හැකි ගිනිඅවියක් බව පොලිසිය ප්‍රකාශ කරයි.
දිගින් අඟල් හතරහමාරක් පමණ මෙම ගිනිඅවිය කුමන හේතුවක් මත මෙම පුද්ගලයා සන්තකයේ තබාගෙන සිටියේ දැයි තවම හෙළිවීී නැත.
ගිනිඅවිය සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ, 43 හැවිරිදි මොරටුව, මෝල්පේ ප්‍රදේශයේ පදිංචි අයෙකි.
ඔහුව අද (04) පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.කළුතර අපරාධ කොට්ඨාශය මගින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරේ.

