විශාල අභිරහසක් ඉතිරි කර දිය යට සැඟව ගිය අකිල

 

(මොහොමඩ් ආසික්)

අකිල ආදිත්‍ය කොට්ටගහගෙදර මහනුවර මැණික්හින්න කලාසිරිගම පදිංචි  22 හැවිරිදි තරුණයෙකි.  වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ සමත් වූ ඔහු රැකියාව වශයෙන් පෞද්ගලික ආයතනයක සේවය කළේය. පසුගිය මැයි මස 17 වනදා උදේ මිතුරන් පිරිසක් සමඟ ගුරුදෙණිය ප්‍රදේශයේ ඔහු තවත් මිතුරකුගේ නිවසට යන බව පවසා නිවසින් ගියත් සවස්වන විට නිවැසියන්ට ආරංචි වී ඇත්තේ  අකිල ආදිත්‍ය  වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගොස් දියේ ගිලී මිය ගොස් ඇති බවයි. දෙමාපියන්ට ඥාතින්ට ලොකු අභිරහසක් ඉතිරි කර මෙලෙස මිය ගොස් ඇති අකිල ආදිත්‍යගේ මරණය මෙන් තවත් මරණ  සිදු නොවන්නට මෙම මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන   ලෙස ඔහුගේ දෙමාපියන් ඇතුළු ඥාතිහු ඉල්ලා සිටිති.

මේ සම්බන්ධයෙන් මිය ගිය අකිලගේ පියා වන කොට්ටගහගෙදර සිසිර කුමාර මහතා අප සමඟ මෙසේ කීය.‘ ‘මේ මගේ වැඩිමහල් පුතා තවත් දියණියක් ඉන්නවා. මෙයා ඉතා හොඳ දරුවෙක්. පෞද්ගලික ආයතනයක සේවය කළා සිද්ධිය වුන දවසේ උදේ ගුරුදෙණිය ප්‍රදේශයේ මිතුරකුගේ නිවසට යනව කියල ගියා. නමුත් එදින හවස හතරට විතර  ගැහැණු ළමයෙකු තවත් ගමේ ගැහැණු ළමයෙකුට දුරකථන අමතුමක් දීල තියෙනව අකිල  රෝහලට ඇතුලත් කරල තියෙනව කියල . අපි ඒ බව දැන ගත්ත වහාම රෝහලට ගියා ඒ වන විට පුතා මිය ගිහින් හිටියේ. මේ මරණය ගැන අපට කිසිම දෙයක් හිතා ගන්න බෑ, ඒ නිසා අපි ඉල්ලන්නේ මේ වගේ මරණ මින් ඉදිරියට නොවෙන්න සාධාරණ පරීක්ෂණයක් කරල මේ මරණයට හේතුව හෙළි කර දෙන ලෙස යැයිද කීය.

මෙම මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය පැවැත්වූ කුණ්ඩසාලේ හදිසි මරණ පරීක්ෂක එම්.එන්.එම්.නිරෝෂාන් මහතා  සිය තීන්දුවේ මරණයට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ වික්ටෝරියා ජලාශයේ මහවැලි ගඟේ දිය නෑමට ගොස් වතුරේදි මිය ගොස් ඇති බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *