(මෙහොමඩ් ආසික්)
2019 වසරේ සිට 2021 වසර දක්වා ලොව පුරා වසංගතයක් තත්වයෙන් පැතිරී ගිය කොවිඩ් 19 වසංගතය ලෝකයම උඩුයටිකුරු කරන්නට සමත්වූ බව නොරහසකි. ලෝකයේ දියුණුම රටවල් මෙන්ම දිළිඳු රටවල් ද එක සේ පීඩාවට පත්වූ මෙම කොඩිඩ් 19 වසංගතයේ ආසාදනය එතෙක් ලෝකයේ නොවු අති විශාල වසංගතයක් බවට පත් විය. ලෝකයට එතෙක් වැඩි හුරුවක් නොමැති නිරෝධායනය, නීරෝධායන ඇඳිරි නීතිය, සංචරණ සීමා. වැනි අලුත් ක්රියාවන්ටද හුරු වන්නට ලෝකයේ ජනතාවට සිදු විය. මේ වන විට යළිත් වරක් ආසියාවේ අපේ අසල්වැසි රටවලින් කොවිඩ් වසංගතයේ පෙරනිමිති පහළ වෙමින් තිබෙන තත්වයක් තුළ එහි යටගියාව සොයා බැලිමේ උත්සාහයකි මේ.
2019 දෙසැම්බර් මාසයේදී චීනයෙන් හඳුනා ගත් මුල්ම කොවිඩ් ආසාදිත කොරෝනා රෝගියාගෙන් පටන් ගෙන 2024 අප්‍රේල් මාසයේ 13 වන දින දක්වා ලෝකය පුරා වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව වර්ල්ඩ් මීටර් වෙබ් අඩවිය පවසන ආකාරයට 70,47,53,890 ක් ( හැත්තෑ කෝටි හතළිස් හත් ලක්ෂ පනස් තුන් දහස් අටසිය අනූවක්) ලෙස වාර්තා වී ඇති අතර එම කාලය තුල ලෝකය පුරා වාර්තා වී ඇති කොවිඩ් 19 ආසාදිත මරණ ගණන 70,10,681 ක්( හැත්තෑ ලක්ෂ දස දහස් හයසිය අසූ එකක්) වෙයි. මෙම දත්ත අනුව සමස්ත ආසාදිතයින්ගෙන් සියයට එකකට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් ඇති බව පෙන්නුම් කරයි. ආසාදිත රෝගීන් 67,56,19,811 ක් ( හැට හත් කෝටි පනස් හය ලක්ෂ දහ නව දහස් අටසිය එකොළහක්) සුවය ලබා ඇති බවත් එම දත්තවල සඳහන් වෙයි.
මෙම ජගත් තත්වය අනුව ශ්‍රී ලංකාවේ තත්වය සලකා බැලීම මෙම ලිපියේ අරමුණයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වෙඩ් අඩවියට අනුව 2024 .11.30 වනදා දක්වා ශ්‍රී ලංකාව තුලින් වාර්තා වී ඇති කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 6,72,812 ක් වන අතර වාර්තා වී ඇති මරණ ගණන 16,907 කි. ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ ගණන රෝගීන්ගෙන් සියයට 2.5 ක ප්රමාණයකි. ජාත්‍යන්තර දත්ත අනුව බැලීමේදී මෙය පැසසිය යුතු පාලනයක් වුවද තරමක වැඩි වීමකි.
කොවිඩ් 19 වෛරසය මර්දනයට මුලින් රජය ගත් උත්සාහයන් ප්රශස්ත මට්ටමේ තිබිණ. එසේ වුවත් පසු කාලීනව කොවිඩ් 19 වෛරසය මර්දනයට බව පවසමින් ගත් දේශපාලනමය හේතුන් මත යැයි සිතිය හැකි යම් යම් ක්‍රියාමාර්ග නිසා වෛරසය මර්දනයට ගත් සියලු උත්සාහයන් කැපවීම් සියල්ල යටපත් කරන්නට සමත් විය. ලෝකයේ කිසිදු රටක් නොකළ ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනිවාර්ය නොකළ කොවිඩ් මරණ අනිවාර්ය ආදාහනය කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණය මුළුමනින්ම දේශපාලනමය තීරණයක් බව බොහෝ දෙනෙකුගේ මතයයි. අද වන විටත් එහි පැල්ලම් මැකී නොමැති බව පෙනී යන්නේ මේ වන විටත් එම බලහත්කාරි ආදාහනයට එරෙහිව විරෝධතා මතු වෙමින් පවතින නිසාවෙනි.
කොවිඩ් 19 වසංගතය මර්දනය කිරීම සඳහා ලෝකයේ බලවත් රටවල්වලටත් වඩා වැඩි කැපවීමක් කර මරණ සංඛ්‍යාවද යම් ප්‍රමාණයකින් අඩු කර ගත් නමුත් ඒ සියල්ල මේ එක් තීරණයට යටපත් වී ඇති බව පෙනේ.
මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරන ලද තොරතුරු විමසීමකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග වේදඥ විසින් ලබා දී ඇති තොරතුරු මත නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.එම්.ආනර්ල්ඩ් මහතාගේ අත්සනින් ලබා දී ලබා දී ඇති තොරතුරුවල කොවිඩ් මරණ ආදාහනය සම්බන්ධයෙන් ඇසූ තොරතුරු සියල්ල මඟ හැර තිබේ.
ලබා දී ඇති තොරතුරු අනුව ශ්‍රී ලංකාව තුලින් වාර්තා වී ඇති මුළු කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 16,817 ක් බව සඳහන් වෙයි( වෙබ් අඩවියේ සඳහන් ගණන සහ මෙම ගණන අතරත් මරණ 90 ක වෙනසක් පවතී) ලබා දී ඇති දත්ත අනුව දිස්ත්‍රික්ක අනුව වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන මෙලෙස සඳහන් වෙයි.

කොළඹ 3335 ක්, ගම්පහ 3136 ක්, කළුතර 1543ක් මහනුවර 835 ක්, මාතලේ 288 ක්, නුවරඑළිය 329 ක්,ගාල්ල 895 ක්, මාතර 404 ක්, හම්බන්තොට 237 ක්, යාපනය 386 ක්, මන්නාරම 31 ක්, මුලතිව් 44 ක්, වව්නියාව 154 ක්, කිලිනොච්චිය 71 ක්, අම්පාර 159 ක්, මඩකලපුව 248 ක්, ත්‍රිකුණාමලය 228 ක්,කල්මුණේ 112 ක්, කුරුණෑගල 1065 ක්,පුත්තලම 383 ක්, අනුරාධපුරය 469 ක් පොළොන්නරව 258 ක්, බදුල්ල 505 ක්, මොණරාගල 243ක්, කෑගල්ල 558ක් සහ රත්නපුරය 895 ක් වශයෙන් ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 16,817 ක් වාර්තා වී තිබේ.
ඒඅතර පිරිමි පුද්ගල මරණ 7,341 ක් සහ කාන්තා පුද්ගල මරණ 9,476 ක් වාර්තා වී ඇති බවත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 12,515 ක් සහ 60 ට අඩු පුද්ගලයින්ගේ මරණ 4,302 ක් ද වශයෙන් වාර්තා වී ඇති බව ලබා දී ඇති තොරතුරුවල සඳහන් වෙයි.

තොරතුරු දැන ගැනීමේ පනත අනුව කරන ලද තොරතුරු ඉල්ලීමේ වැදගත්ම ප්‍රශ්න තුනක් වූයේ (3) මෙම මරණවලින් මෘත දේහ කීයක් භූමදානය කරන ලද්දේද? දිස්ත්‍රික් මට්ටමින් ලබා දෙන්න (4) කොවිඩ් 19 වෛරසය ආසාදිතව මිය යාම නිසා ආදාහනය කරනු ලැබූ මෘත දේහ ප්‍රමාණය ජාතින් අනුව කොපමණද? (5) කොවිඩ් මරණ ආදාහනය කිරීම අනිවාර්ය කරමින් නිර්දේශය ලබා දුන් කමිටුව කුමක්ද? එහි සාමාජිකයින් කවුද යන්නයි. නමුත් මෙම ප්‍රශ්න තුනට අදාළව සෞඛ්‍ය නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.එම්.ආනල්ඩ් මහතාගේ අත්සනින් එවා ඇති තොරතුරුවල සඳහන්ව ඇත්තේ එකම පිළිතුරකි එනම් “ ඉහත සඳහන් ප්‍රශ්නවලට අදාල තොරතුරු මෙම ආයතනයේ නොමැති බව දන්වා සිටිමි‘ යන්නයි. මෙම තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නොමැති නම් ඇත්තේ කොහේද යන්න සොයා බැලීම වටී. ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේද බරපතල සෞඛ්‍ය ගැටළුවකට අදාළ තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නැතැයි කීම පිළිගත හැකිද?
ආගමික විශ්වාසයන් මත මුස්ලිම් ජනතාවට ආදාහනය තහනම් දෙයකි. ඒ වගේම ක්‍රිස්තියානි ජනතාවද ආදාහනය සිදු කරන්නේ නැති බව අපගේ මතයයි. ඒ නිසාම ආගමික විශ්වාසයන්ට ගරු කරමින් සහ සෞඛ්‍යමය තත්වයන් සැලකිල්ලට ගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කොවිඩ් මරණ ආදාහනය අනිවාර්ය කළේ නැත. නමුත් ශ්‍රී ලංකාවේ එවක පැවැති රජය මුළුමනින්ම දේශපාලනයම හේතුන් මත මෙම තීරණය ගනු ලැබුවේ මුස්ලිම් ජතාවගෙන් පලි ගැනීමට බව අදත් මුස්ලිම් ජනතාව තුල පවතින විශ්වාසයයි.. 2019 දී බලයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයට මුස්ලිම් ජනතාවගේ සහාය ප්‍රමාණවත් ලෙස නොලැබීම එයට හේතුව විය හැකි බවත් ඔවුහු සඳහන් කරති. කෙසේ නමුත් පසුගිය රජයෙන් සිදු වූ අඩුපාඩු මඟ හරවා ගැනීම සඳහා මුස්ලිම් ජනතාවද වැඩි වශයෙන් ඡන්දය ලබා දී නව රජයක් බලයට පත් කර තිබේ. මෙම රජයෙන්වත් මේ බලහත්කාරි ආදාහනයට සාධාරණයක් ඉටු කළ යුතු බව මෙරට මුස්ලිම් ජනතාව තරයේ විශ්වාස කරති . ඒ සඳහා ඔවුහු තව දුරටත් සටන් කරමින් සිටිති. එසේ වුවත් වත්මන් රජය යටතේත් සෞඛ්‍ය අමාත්‍යාංශය තොරතුරු පනතින් කළ ඉල්ලීමකට පවා එම තොරතුරු නොමැති බව ප්‍රකාශ කිරීම තුළින් පෙනෙන්නේ මේ ගැටළුව විසඳීමට වර්තමාන රජයටවත් වුවමනාවක් නොමැති බවද? වත්මන් ජනාධිවරයා ප්රමුඛ රජය මේවා සම්බන්ධයෙන් සොයා බලා විසඳුම් ලබා දිය යුතු නොවේද?

