කොත්තු විකුණන ඇතැම් තැන්වල හොදි වෙනුවට කසිප්පු පැකැට් එකක්

 

 

(අජිත්ලාල් ශාන්තඋදය)

අලුත් ආණ්ඩුව පැමිණි පසු රත්නපුර දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය පැතිරයාම වැඩි වී ඇතැයි ජනතාව තුළ වැරදි අදහසක් පැතිර යන බව  රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා කීවේය. දිස්ත්‍රික්කයේ ඇතැම් පොලිස්ථානාධිපතිවරුන්ගේ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ ක්‍රියාකලාපය ගැන සතුටු විය නොහැකි බව රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව 28දා රැස්වු අවස්ථාවේ ඔහු අවධාරණය කළේය.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදි රැස්විම පැවැත්විණි. රත්නපුර දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එම් නිශාන්ත මහතා කමිටුවේ ලේකම්ධූරය දරයි.

රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා එහිදී කරුණු දක්වමින්:

”ඇතැම් පොලිස් නිලධාරින් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින් අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. මත්ද්‍රව්‍ය අපරාධකරුවන් නිසා සමාජයේ බරපතල හානි සිදු වෙනවා. අවසානයේ ඒවා ආණ්ඩුව පිටින් යන්නේ. ඒ නිසා මත්ද්‍රව්‍ය අපරාධකාරයින්ට වගේම එයාල එක්ක සබදකම් පවත්වන පොලිස් නිලධාරින්ගේද ඇග බැදිය යුතුයි.”

”අනවසර මැණික් ගැරිල්ලත් ඒවගෙයි. ගොවියන් ගැන බලන්න ඉන්න ගොවිජන සේවා එකයි, හානියක් නැතිව මැණික් ගැරීමේ කටයුතු කරන්න ඉන්න මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියයි පරිසරය අනාරක්ෂිත කරමින් ගංගා ඇලදොළ වල, කුඹුරුවල මැණික් ගැරීම සදහා බැකෝ සහ වෙනත් බලපත් නිිකුත් කරනවා. ඒ අතරේ මිනිස්සු මටත් හවුල් තියනවා කියලා තව ප්‍රචාරත් යවනවා. ඉස්සර දේශපාලනඥයින්ට ඒවගේ හවුල් තියෙන්න ඇති. අපිට හවුල් අරගන්න නෙවෙයි ජනතාව බලය දුන්නේ. අක්‍රමවත් වැඩපිළිවෙල නවත්වන්න. නමුත් තවම ඒවා නැවතුන බවක් පේන්න නෑ. මේ තත්ත්වය තව දුරටත් තියන්න එපා. රත්නපුර දිස්ත්‍රික්කයේ මේ වර්ධනය වන මත්ද්‍රව්‍ය පැතිරයාම වහාම මැඩ පවත්වන්න පියවර ගන්න. එස්.ටී.එෆ් එකේ සහයත් ඊට ලබාගන්න. කසිප්පු ජාවාරම ඉහළ ගිහිං.” පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා කීවේය.

“පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පුෂ්පකුමාර මහතාද සිය අදහස් දක්වමින් “..ප්‍රදේශයේ වතු ආශ්‍රිතව කසිප්පු ජවාරම ඉහළින් පැතිර ගිහින් තියනවා. වඩේ  කරත්ත වල සහ කොත්තු ගහන තැන්වල කසිප්පු විකුණනවා. හොදි පැකට් වෙනුවට කසිප්පු පැකට් දෙන්නේ. මේවා නවත්වන්න පොලිසිය වහා පියවර ගතයුතුයි.”යනුවෙන් සඳහන් කළේය.

රත්නපුර ජ්‍යේෂඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතාපැවසුවේ නිලධාරීන්ගේ අඩුව නිසා කසිප්පු ඇතුලු මත්ද්‍රව්‍ය  ජාවාරම මැඩලීමේ ගැටලු ඇති බවයි. මේ තත්ත්වය වතු ආශ්‍රිතව ඉහළ ගොස් ඇති බව සත්‍යයක් යැයිද හෙතෙම කීවේය. එස්.ටි.එෆ් , සුරාබදු නිලධාරීන් ඇතුලු මත්ද්‍රව්‍ය වැටලීමට බලතල ඇති පාර්ශව සමග ඒකාබද්ධ වැටලීම් වැඩපිළිවෙලකට යාමටද ඔහු යෝජනා කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *