(බුද්ධික වීරසිංහ)
පරිපූරක වෛද්‍ය සේවාවන් දෙකක් අද දින සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කොට තිබේ.ඒ රසායනාගාර විද්‍යාඥ සේවාවේ සහ භෞතික චිකිත්සක සේවාවේ නිලධාරීන්ය. අද (27) පෙරවරු 08 සිට වැඩවර්ජනය ක්‍රියාත්මක වේ.
සමසෞඛ්‍ය උපාධිධාරීන්ට සිදුකළ අසාධාරණය හා උසස් වීම් ගැටලුව ඇතුළු ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් මෙම වර්ධනය ආරම්භ කළ බව පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය ප්‍රකාශ කරයි.
අදාළ වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා අවධාරණය කළේය.
මෙම වැඩවර්ජනය සඳහා පරිපූරක වෛද්‍ය සේවාවට අයත් තවත් වෘත්තීය සමිති සහය පළකිරීමට තීරණය කර ඇති බවද ඔහු හෙළි කළේය.

අයවැය මගින් දිවා රෑ රෝහල්වල වෙහෙසෙන සෞඛ්‍ය වෘත්තිකයන්ට අසාධාරණයක් සිදුකර ඇති බවට සෞඛ්‍ය වෘත්තිකයෝ චෝදනා කරති.
වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී සහ නිවාඩු දින දීමනා කප්පාදු කිරීම සම්බන්ධ නිවැරදි චක්‍රලේඛය සතියක් ඇතුළත නිකුත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ( GMOA) මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, එම චක්‍රලේඛය සතියක් ඇතුළත නිකුත් නොකරන්නේ නම් නම් ඉදිරියේ දී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළැඹීමට සිදුවනු ඇති බවය.
“මාස දෙකකට ආසන්නයි ජනාධිපතිතුමා තමාගේ තීරණය දීලා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ චක්‍රලේඛය ඇවිල්ලා. අප්‍රේල් 1 වෙනිදා ඉඳලා මේ නව වැටුප් ව්‍යුහය ක්‍රියාත්මකයි. අප්‍රේල් වැටුපට අදාළවත් අමතර දීමනා ආදිය වෛද්‍යවරුන්ට ලබාගන්න බෑ. මැයි මාසයත් ඉවර වෙන්න ඇවිත්. මැයි ඉවර වෙද්දිවත් වෛද්‍යවරුන් කරන රාජකාරියට ලැබිය යුතු වටිනාකම ලැබෙන්නේ නෑ. කොහොමත් ගෙවන්නේ අඩුවෙන්. බරපතළ ගැටලුවක් තියෙන බව අපි දකිනවා. මේ චක්‍රලේඛය වහාම නිවැරදි විය යුතුයි. විධායක සභාව ඒකමතිකව තීරණය කළ දේ තමා එළැඹෙන සතිය ඇතුළතවත් මේක නිවැරදි වෙන්නේ නැත්නම් අපිට යම් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹෙන්න සිද්ධවෙනවා.” වෛද්‍ය චමිල් විජේසිංහමහතා අවධාරණය කළේය.
