පුංචි ඡන්දයේ අපේක්ෂකයින් රැසකටත් නීතිමය ක්‍රියාමාර්ග

 

(ලක්මිණි නදීෂා) 

මෙවර පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින්ට ආදායම් වියදම් වාර්තා ලබා දීමට මැතිවරණය අවසන් වී දින විසි එකක කාලයක් ලබාදී තිබුණි. එම කාලය   අද (27) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

නමුත්  සැලකිය යුතු පිරිසක් එම ආදායම් වියදම් වාර්තා තවමත් මැතිවරණ කොමිසම වෙත ලබාදී නොමැත.

මෙවර මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂකයින්ගේ පහසුව සඳහා online ක්‍රමය ඔස්සේ තමන්ගේ ආදායම් වියදම් උඩුගත කිරීමේ පහසුකම සලසා දී තිබේ. නමුත් ඒ සඳහා ලියාපදිංචි වී ඇත්තේ අපේක්ෂකයින් 76000 කින් 48 දෙනෙක් පමණි. මෙය බරපතල තත්ත්වයකි.  තම ආදායම් වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයින්ට, දේශපාලන පක්ෂ වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිසියට ඉතා පැහැදිලිව බලය පැවරෙන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

පසුගිය ජනාධිපතිවරණයේදී  අපේක්ෂකයන් දොළොස් දෙනකුට එරෙහිවද අධිකරණ ක්‍රියාමාර්ග ගත් බවත් පාර්ලිමේන්තු මැතිවරණයේදී  1200කට ආසන්න  ප්‍රමාණයකටද කොළඹ  ඇල්පිටිය මැතිවරණයේදී දෙසීයකට ආසන්න ප්‍රමාණයකටද නීතිමය ක්‍රියාමාර්ග ගත් බවත් හෙට්ටිආරච්චි මහතා සිහිපත් කළේය.

මේ මැතිවරණයේදීත් අනිවාර්යයෙන්ම අපේක්ෂකයින්ට එරෙහිව එවැනි ක්‍රියාමාර්ග ගැනීමට අවස්ථාව තිබේ. 

…”..අපේක්ෂක ඔබත් මෙලෙස ආදායම් වියදම් වාර්තා ලබාදීමට අසමත් වුවහොත් ඔබට වසර තුනක කාලයක් සඳහා ඔබේ ඡන්ද අයිතිය, ඡන්දය ලියාපදිංචි කිරීමේ අයිතිය, ඡන්ද පාවිච්චි කිරීමේ අයිතිය, මන්ත්‍රීවරයෙක් වශයෙන් සභාවේ වාඩිවීමේ අයිතිය මේ සියල්ල අහිමිවීමේ අවදානමක් ඇත. පැෆරල් සංවිධානය මේ වන විට අපේ නීතිඥයන් සමඟ සාකච්ඡා කරමින් සිටින්නේ. තුන්වෙනි පාර්ශවයක් හැටියට මේ ආදායම් වියදම් වාර්තා ලබා නොදෙන පිරිස් සඳහා පොදුවේ මේ ක්‍රියාමාර්ග ගැනීමට ඇති ඉඩකඩ අපි සොයා බලමින් ඉන්නවා. විශාල ප්‍රමාණයක් මේ වාර්තා ලබා නොදුන්නොත් පොලිසියට මේ එක් එක් පුද්ගලයා සම්බන්ධයෙන් වෙන වෙනම අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම, විශාල වශයෙන්  කාලයක් මුදලුත් කා දැමීමක් වෙනවා. එය නීතිපති දෙපාර්තමේන්තුවේත් කාලය කා දැමීමක් වෙනවා. තුන්වෙනි පාර්ශවයක් හැටියට අපිට මේ සඳහා මැදිහත්වීමට ඇති ඉඩකඩ සලකා බලමින් සිටිනවා….”  විධායක අධ්‍යක්ෂකවරයා පැවසීය. 

පැෆරල් සංවිධානය ඉල්ලා සිටියේ, තව එක් දිනයක් ඇති බැවින් අපේක්ෂක ඔබේ ආදායම් වියදම් වාර්තා ලබාදෙන ලෙසයි. “ඔබට වියදමක් නැති උනත් එය වියදම් නොකළ බවට වාර්තාවක් සහ දි වුරුම් ප්‍රකාශයක් ලබාදීම හරහා මේ නීතිමය අවශ්‍යතාවය සම්පූර්ණ කරීමට හැකියාව තිබෙනවා. ඉතාම ඉක්මනින් මැතිවරණයේ මේ කටයුතු අවසන් වූ වහාම නීතිය නැවත සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය අපි දකිනවා. හඳුනාගත් අඩුපාඩු කිහිපයක් මෙහි තිබෙනවා. ප්‍රධාන අඩුපාඩුව තමයි මේ අපේක්ෂකයින්ට වෙනම අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා තියෙන ප්‍රතිපාදනය. යම් අපේක්ෂකයෙක් ආදායම් වියදම් වාර්තා දුන්නේ නැත්නම් ස්වභාවිකවම ඔහුගේ අපේක්ෂක සභික ධූරය ඡන්ද අයිතිය වසර තුනකට අහිමි වන ආකාරයට නීතිය සංශෝධනය විය යුතු වෙනවා” යැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *