(මොහොමඩ් ආසික්)

ශ්‍රී ලංකාව ඉංග්‍රීසින් විසින් යටත් කර ගැනීමෙන් පසුව ඔවුනට එරෙහි ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් විසින් 1818 දී මෙහෙයවූ පළමුවන නිදහස් සටනේ වීරෝධාර විරු නායකයෙක් වූ ඇල්ලේපොළ නිළමේ තුමන්ව ඉංග්‍රීසින් විසින් අත් අඩංගුවට ගත් ගල්ලෙන වසර 207 කට පසුව සොයා ගැනීමට කැලණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාල සහ තොරතුරු විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච්.එම්.ටිකිරි හේරත් ගුණතිලක සහ මහනුවර පුරා විද්‍යා කාර්යාලයේ පුරා විද්‍යා පර්යේෂණ නිලධාරි අයි.ඩී.එම්.විජේබණ්ඩාර මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායමකට හැකියාව ලැබී තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම නිදහස් සටන වන 1818 උඩරට නිදහස් සටනේ පුරෝගාමීන් වූ ඇහැලේපොළ නිලමේ ,කැප්පෙටිපොළ නිළමේ , මඩුගල්ලේ නිලමේ වැනි නායකයින් අවසන් වර අත් අඩංගුවට පත් වූ ස්ථානයන් මින් පෙර සොයා ගෙන තිබුණද ඇල්ලේපොළ නිලමේ තුමන් අත් අඩංගුවට පත් ස්ථානය මෙතෙක් සොයා ගෙන නොතිබූ බවත් මෙම ස්ථානය සොයා ගැනීම ශ්‍රී ලාංකීය ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරන සිදුවීමක් බවත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච්.එම්. ටිකිරි හේරත් ගුණතිලක මහතා මෙම ගල්ලෙන සොයා ගැනීමෙන් පසුව මාධ්‍ය වෙත කීය.
මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් බඹරබැද්ද නැගෙනහිර ග්‍රාම නිලධාරි වසමේ පිහිටි අඩි 200 ක් පමණ දිගින් යුත් මෙම ගල් ලෙන ඇල්ලේපොළ නිලමේ තුමන්, ඔහුගේ බිරිඳ සහ බෑණනුවන් ආරක්ෂිතව සිටි ලෙන බවට සැකයකින් තොරව විශ්වාස කළ හැකි බවත් ජ්‍යෙෂ්ඨ කථීකාචාර්යවරයා අප සමඟ කීය. මෙම ලෙන වසර දහස් ගණනක් පැරැණි ලෙනක් බවත්, මෙහි කටාරම් කොටා ඇති බවත් ,එම කටාරම් ආසන්නයේ ඉපැරැණි බ්‍රාහ්මී අක්ෂරවලට සමාන කෙටීම් රැසක් දක්නට ලැබෙන බවත්,, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඉතා ඉක්මනින් පරීක්ෂණ සිදු කළ යුතුව ඇති බවත් කථිකාචාර්යවරයා තව දුරටත් කීය.
ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය එච්.එම්.ටිකිරි හේරත් ගුණතිලක මහතා තව දුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේද කීය.

“ ඇල්ලේපොළ නිලමේ තුමා අවසන් වරට අත් අඩංගුවට ගත් ස්ථානය සොයා අපි මීට පෙරත් ගවේෂණයක නිරත වුණා. නමුත් එහිදී අපට නිලමේ තුමත්ව අත් අඩංගුවට ගත් ස්ථානය සොයා ගැනීමට නොහැකි වුණා. ඒ ගවේෂණයේ ඉදිරියක් ලෙසයි අද අපි මේ ගවේෂණය සිදු කරන්නේ. ශ්‍රී ලාංකීය ඉතිහාසයේ 1818 ප්‍රථම නිදහස් අරගලය කියන්නේ ශ්‍රී ලංකාවට කවදාවත් අමතක කරන්න බැරි වකවානුවක්.ඒක ශ්‍රී ලාංකීය ජනතාව ඉතා හොඳින් දන්නවා. මෙම නිදහස් සටනට උර දුන්න අරගලයේ වීරවරයින් වන ඇහැලේපොළ නිළමේ තුමන් කැප්පෙටිපොළ නිළමේ තුමන් මඩුගල්ලේ නිළමේ තුමන් ආදී වශයෙන් සිටි වීරවරයන් අවසන් වරට අත් අඩංගුවට පත් වූ ස්ථාන පිළිබඳව තොරතුරු පවතිනවා.මඩුගල්ලේ නිළමේ තුමන් අවසන් වරට අත් අඩංගුවට පත් වන්නේ නාවුල පුබ්බිලිය ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක් තුළදී. ඒවගේම කැප්පෙටිපොළ නිළමේ තුමන් අත් අඩංගුවට පත් වෙලා තියෙන්නේ පරවහගමදී.නමුත් ලංකා ඉතිහාසයේ ලොකු හිස් තැනක් තිබුණා ඇල්ලේපොළ නිළමේ තුමා අත් අඩංගුවට ගත් ස්ථානය කුමක්ද කියලා. ලිඛිත සාක්ෂි අනුව එක් තොරතුරක් අපට ලැබෙනවා. ඒ තමයි බඹරබැද්ද ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව. මෙයට මාසයකට පෙර අප මෙම ප්‍රදේශයේ අනෙක් අන්තයේ කඳු පද්ධතියේ කළ ගවේෂණයේදී නිවරැදි ස්ථානය හඳුනා ගන්න බැරි වුණා. නමුත් අද දිනයේ අපේ පර්යේෂණ කණ්ඩායම බඹරබැද්ද ග්‍රාමයේ ඉතාම හුදකලාව පිහිටි ඉතාමත් වටිනා පාරිසරික සාධක රැසක් තියෙන එතුමා මෙම ගල් ලෙනේ සිටියායැයි සනාථ කර ගන්න පුළුවන් ස්ථානයක් අප විසින් හඳුනා ගෙන තිබෙනවා. මෙම ගල්ලෙන පිහිටා තිබෙන ස්ථානයේ සියලු සාධක ගත්තහම 1818 ප්‍රථම නිදහස් අරගලයේ වීරෝධාර ශ්‍රී ලාංකිකයෙකු වූ ඇල්ලේපොළ නිළමේතුමා ඉංග්‍රීසින්ගේ අත්අඩංගුවට පත් වූ ස්ථානය මෙම ගල් ලෙන බවට ප්‍රමාණවත් සාධක අපට තිබෙනවා.“
මෙහිදී මෙම සොයා ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහනුවර පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ නිලධාරි අයි.ඩි.එම්.විජේබණ්ඩාර මහතා මෙසේ කීය.

“ මේ ලෙන් සංකීර්ණය අපි තවමත් පූර්ණ ගවේෂණයකට ලක් කළේ නෑ. මේක අඩි 200 ක් පමණ දිග විශාල ලෙන් සංකීර්ණයක්. මේක විශාල පිරිසකට එකවර රැඳෙන්න පුළුවන් තැනක් ලෙසයි අප හඳුනා ගත්තේ.මේක කටාරමක් සහිත ලෙනක්.කටාරමක් සහිත ලෙනක් කියන්නේ ක්‍රිස්තු පූර්ව තුන්වන සිය වසේ ඉඳලා පශ්චාත් කාලය දක්වාම භික්ෂූන් වහන්සේලා හෝ ආරාමික එහෙමත් තැන්තම් රාජකීය පුද්ගලයින් වාසය කළ තැන් හැටියට හඳුනා ගෙන තියෙනවා.මේ ලෙනේ අපට හඳුනා ගන්න හැකි වෙලා තියෙනවා පූර්ව බ්‍රාහ්මී අක්ෂරවලට සමාන සලකුණු ඒ අක්ෂර මේකේ තියෙන පාරිසරික සහ උසේ තත්වයන් අනුව හරියට කියවා ගන්න බැරි වුනත් අපි විශ්වාස කරනවා මේ අක්ෂර පූර්ව බ්‍රාහ්මි යුගයට අයත් අක්ෂර කියලා. පූර්ව බ්‍රහ්මි අක්ෂර ක්‍රිස්තු පූර්ව තුන් වන සියවගේ ඉඳලා ක්‍රිස්තු වර්ෂ එක දෙක සිය වස් කාලය දක්වාම දිවෙන සම්ප්‍රදායක් අපේ ලේඛණ ඉතිහාසය තුළ දක්නට ලැබෙනවා.මේ ලෙන ඇතැම් විට මහා සංඝයා වහන්සේලා වෙත පූජා කළ එකක් වෙන්න පුළුවන්. මේ ගැන කිසිම තොරතුරක් අපි කිසි කෙනෙක් මෙතැනට පැමිණෙන තුරු දැන සිටියේ නෑ.ඒකත් විශේෂක්වයක්. මෙම ලෙනේ දක්නට ලැබෙන්නේ ඇත්තටම බ්‍රාහ්මී අක්ෂරද යන්න පිළිබඳව ඉදිරියේදී පුරා විද්‍යාත්මක ගවේෂණයක් සිදු කිරීමට පියවර ගන්නවා..”
මෙම ඉඩමේ හිමි කරු වන පී.ජී. වීරසේකර මහතා මෙසේ කීය.

“ මේ ඉඩම අපේ අත්ත මුත්තලාගේ පරම්පරා ඉඩමක්.අපේ පරම්පරාවේ ඔක්කොම මේකේ හේන් කරල තියෙනවා.මේවා සංවර්ධනය වෙලා පාරක් තොටක් හැදෙනවානම් අපටත් හොඳයි අපේ ඉඩම්වලට යන්න. අපි හැමදාම ජීවත් වෙන්නේ නෑ.‘
මෙහිදී අප සමඟ අදහස් දැක්වූ ගම්වැසි කාන්තාවක් වන මැණිකේ වීරකෝන් මහත්මිය මෙසේ කීවාය.

“ මම පුංචි කාලයේ අපේ අත්තලා ඇල්ලේපොළ නිලමේ තුමා ගැන කියනවා.එදා ඉඳලම මම හරි සතුටුයි.අපි බලාපොරොත්තු වුන විදිහටම ඇල්ලේපොළ නිළමේ තුමා හිටපු ගල් ලෙන හම්බ වුණා හරි සතුටුයි.”



