යාපනෙන් කතරගමට  පාදයාත්‍රාවේ එන හින්දු බැතිමතුන්ට කුමන ගේට්ටුව  විවෘතයි.

 

(අජිත්ලාල් ශාන්තඋදය)

කතරගම බලා පාද යාත්‍රාවේ එන බැතිමතුන්ට කුමන සහ යාල ජාතික උද්‍යානය වලට ඇතුලුවීමට කුමන ජාතික උද්‍යානයේ ගේට්ටු ජූනි මස 20 දින විවෘත කරන  බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

කතරගම පෙරහර මංගල්‍යය ජුනි මස 26 දින ආරම්භ වෙයි. මහපෙරහර ජූලි 10 දින වීථි සංචාරය කරයි.  ජූලි 11දා දිය කැපීමේ මංගල්‍යයෙන් පසු කතරගම පෙරහර කටයුතු අවසන් වෙයි.

කතරගම පෙරහරට සහභාගිවීමට උතුරු නැගෙනහිරින් තිස්පන් දහසකට වැඩි බැතිමතුන් පිරිසක් කුමන සහ යාල ජාතික වනෝද්‍යාන හරහා පාගමනින් එති. පාද යාත්‍රාව ලෙස මෙම ගමන හදුන්වනු ලබයි.

ජූලි 04දා කුමන ජාතික උද්‍යානයේ ගේට්ටු යළි වසා දමන බව ද  වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. පාදයාත්‍රාවේ එන බැතිමතුන්ට කතරගම බලා එදිනට පසුව කුමන සහ යාල හරහා පැමිණිමට අවසර නොලැබේ.

කල් ඇතිව උතුරු නැගෙනහිරින් එන  දහස් ගණන් හින්දු බැතිමත්හු කුමන ගේට්ටු විවෘත කරන තෙක් ඒ අසන්නයේ ඇති ඔකද දේවාල භූමියේ  රැදි සිටිති.

කුමන ජාතික උද්‍යානයෙන් අතුලුවන බැතිමතුන් කුමන ජාතික උද්‍යානයේ බාගුරාව සහ මඩමෙතොට හෙවත් කුඩා කැබිලිත්ත, යාල ජාතික උද්‍යානයේ කලාප අංක දෙකේ ගජබාව, පිළින්නාව හෙවත් ලිං තුන, පොත්තන, මැණික් ගගේ අලුත් තොටුපළ, වරහන යන ස්ථානවල රැය පහන්කරති. ඉන්පසු යාල කලාප අංක එකට පිවිස ( සාමාන්‍ය සංචාරකයන් සතුන් බලන්නට එන කොටස) කටගමුව ගේට්ටුවෙන් එළියට පැමිණෙති.

එතැන් සිට කතරගම බලා එන හින්දු බැතිමත්හු කල් ඇතිව පැමිණියහොත් කොච්චිපතානේ හින්දු කෝවිල ආශ්‍රයේ දින කිහිපයක් නැවති සිට කතරගම බලා පැමිණෙති.

පාද යාත්‍රාවේ එන බොහෝ හින්දු බැතිමතුන් කුමන සහ යාල ජාතික උද්‍යානවල රාත්‍රී හතරකට වැඩි කාලයක් වන සතුන් ඇසුරේ කාලයගත කරමින් පැමිණෙති. පාදයාත්‍රාවට දුරින්ම එන හින්දු බැතිමතුන් කණ්ඩායම වු නාගදීපයේ සිට එන කණ්ඩායම වෙසක් පොහොය දිනට පසුදින පිටත්විය.

වනෝද්‍යානය තුළින් එන බැතිමතුන්ට ස්ථාන කිහිපයක දන්සැල් පැවැත්වීම මෑතක සිට සිදුවෙයි. බොහොවිට මෙවරත් එම දන්සැල් පැවැත්වෙනු ඇතැයි විශ්වාස කෙරේ.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *