ඒ බොරු, අලුත් වැඩියාවකටයි බසය නැවැත්තුවේ
(අජිත්ලාල් ශාන්තඋදය)
කුරුවිට සිට ලස්සකන්ද දක්වා රත්නපුර ලංගම ඩිපෝවෙන් ධාවනය වු බස් රථය දැනට සතියක පමණ කාලයක සිට ධාවනය නොවීමෙන් ලස්සකන්ද, විතාරම්පංගුව, බෝටියාගල ආදි ගම්වල පාසල්දරුවන් මෙන්ම වැඩිහිටියෝද දැඩි අසිරුවකට පත්ව සිටිති.
පසුගියදා පැවති පළාත් පාලන ඡන්ද විමසීමේදි ලස්සකන්ද ගම අයත්වන එරත්න කොට්ඨාසය ජය ගනු ලැබුවේ පොහොට්ටුවේ අපේක්ෂකයා විසිනි. ලස්සකන්ද ප්රදේශය කුරුවිට ප්රාදේශීය සභාවට අයත් වෙයි. ගම්වාසීන් වැඩි දෙනෙක් චෝදනා කළේ බස් රථය නතර කිරිමට ප්රධාන හේතුව එරත්න කොට්ඨාසයෙන් මාලිමාව පරාද වීම බවයි.
එය කුරුවිට සිට එරත්න පාරේ ලස්සකන්ද හන්දියෙන් හැරී කිලෝමීටර් හතරකට ආසන්න දුරක් බෝටියගල හන්දිය දක්වා ධාවනය විය. මෙම බස් රථය දිනකට සිව් වතාවක් ධාවනය විය. එරත්න පාරේ ලස්සකන්ද හන්දියේ සිට ලස්සකන්ද, විතාරම්පංගුව, බෝටියාගල හන්දිය දක්වා යාමට පුද්ගලික බස් රථයක් හෝ නොමැති බව ගම්වාසීහූ කියති. එම නිසා කිසියම් පළිගැනීමේ අරමුණකින් මෙම බස් රථය නැවැත්වුයේ නම් එය හෙළාදකින බව ද ගම්වාසීහු කීහ.
එරත්න කොට්ඨාසයෙන් කුරුවිට ප්රාදේශීය සභාවට පොහොට්ටුවෙන් තේරිපත්වු සභික කැලුම් ධර්මදාස මහතා මේ සම්බන්ධයෙන් ප්රකාශයක් කරමින් පැවසුවේ ලස්සකන්ද දක්වා ධාවනය වූ බස් රථය වෙනත් මාර්ගයක ධාවනයට යොදවා ඇති බව දැනගන්නට ලැබුණ බවයි.
‘ “…අපි පහුගිය පොහොට්ටු ආණ්ඩුව කාලේ ලස්සකන්ද පාර කාපට් කරලා දුන්නා. ඊට පස්සේ තමයි ඩිපෝවෙන් ඉල්ලලා ඔය බස් රථය දැම්මේ. මේ බස් එක නැවැත්තුවේ මාළිමාව එරත්න කොට්ඨාසයෙන් පරාජයට පත්වු නිසා ගම්වැසියන්ගෙන් පළිගන්නයි. දැන් ලස්සකන්දේ මිනිස්සුන්ට කිලෝමීටර් තුන හතරක් පයින් යන්න වෙලා. දවසගානේ යන එන මිනිස්සුන්ට ත්රිරෝද රථ කුලියට අරං යන්න බෑ. දැන් පාර නරක නිසා නෙවෙයි බස් එක නවත්තලා තියෙන්නේ. හොයා බැලුවම දැනගන්න ලැබුණේ ලස්සකන්ද දක්වා ධාවනය වු අලුත් බස් රථය වෙන පාරකට දාලාලු. කැඩිච්ච බස් රථයක් ලස්සකන්ද පාරට වෙන් කරලා තියන බවත් එහි අඩුපාඩු ඇති නිසා, කදු පල්ලම් ඇති ලස්සකන්ද පාරේ ඒක ධාවනය කරන්න රියදුරන් අකමැති බවත් දැනගන්නට ලැබුණා. අපේ අවනඩුව දැන් කාට කියන්නද? නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ….”
රත්නපුර ඩිපෝ කළමනාකරුගෙන් මේ චෝදනාව සම්බන්ධයෙන් විමසු අවස්ථාවේ දුරකතනයට පිළිතුරු දුන් නිලධාරියා ගම්වාසීන්ගේ සහ කුරුවිට ප්රාදේශීය සභික කැලුම් ධර්මදාස මහතාගේ චෝදනා තරයේ ප්රතික්ෂේප කළේය.
”රත්නපුර ඩිපෝවෙන් දුර ගමන් සහ ග්රාමීය මාර්ග රැසක පොදු මගී සේවාවන් ආවරණය කරනවා. අපිට මේ තියන මාර්ග ටික සම්පුර්ණයෙන් ආවරණය කරන්න බස් එකසිය විසිපහක්වත් ඕනෑ. සමහර මාර්ග තියනවා දොර දෙකේ බස් යන්න බැරි. ඒවාට තනිදොර බස් ඕනෑ. ඩිපෝවට තියෙන්නේ බස් 75යි. බස් පනහක විතර අඩුවක් තියනවා. ඒ තියන බස් වලිනුත් හොද ධාවන තත්ත්වයේ බස් තියෙන්නෙ 20ක් 22ක් විතර. එහෙම මිනිස්සුන්ගෙන් පළිගන්න අපිට කිසිම උවමනාවක් නෑ. පහුගිය කාලේ බස් ඩිපෝ හරියට නඩත්තු කළේ නෑ. කැඩුණ බස් හැදුවේ නෑ. ඇත්ත තත්ත්වය ඕක. ලස්සකන්ද පාරේ බස් එකේ අඩුපාඩු ටිකක් තියනවා. මේදවස්වල ඒ අඩුපාඩු හදනවා. ඒ හදලා ඉවර වුණගමන් බස් එක දානවා. ලස්සකන්ද පාර කදුපල්ලම් සහ වංගු සහිත පාරක්. යාන්ත්රික දෝෂ නැති බස්එකක් දාන්න ඕනෑ. දෝෂ සහිත බස් එකක් දාලා අනතුරක් වුනොත් ඒත් කියයි පොට්ටුව දිනපු කොට්ඨාසයක් නිසා කැඩිච්ච බස් එකක් දැම්මා කියලා.” එම නිලධාරියා කීවේය.
කෙසේ වෙතත් හැකි ඉක්මනින් බස්රථය අලුත්වැඩියාකර ලස්සකන්ද මාර්ගයේ ධාවනයේ යොදවන බවද ඔහු අවධාරණය කළේය.
