බස් එකට නැඟල වීඩියෝ කෝල් එකකින් උදේ ගෙදර එනව කිව්ව අමිල  එළි වෙන කොට අපි අත් ඇරල ගිහින්

ගැරඩිඇල්ල  බස් අනතුරින් මිය ගිය   පන්විල අමිලගේ බිරිඳ රෝසි  හැඩූ කඳුලින් කියයි.

(මොහොමඩ් ආසික් )

“ නිවාඩුවට ගෙදර එන මහත්තයා බස් රථයට නැඟලා රෑ 9.45 ට විතර වීඩියෝ කෝල් එකක් අරන් උදේ වෙන කොට ගෙදර එනව කිව්වා. ඒත් උදේ කතා කරන කොට ෆෝන් එකට පිළිතුරක්වත් තිබුණේ නෑ “ … යැයි කොත්මලේ ගැරඩිඇල්ලේදී සිදු වූ  රිය අනතුරින් මිය ගිය මහනුවර පන්විල ගල්පිහිල්ලේ පදිංචි සුජිත්  අමිල හපුකොටුව නම් වන 37 හැවිරිදි දෙදරු පියාගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ වූ මාරි රෝසි(30) මහත්මිය අප සමඟ  කීවාය.

 මෙම අනතුරින් මිය ගොස් ඇති පිරිස අතර සුජිත්  අමිලද එක් අයෙකු වන අතර මහනුවර  පන්විල ගල්පිහිල්ලේ පදිංචිව සිටි මොහු රැකියාව වශයෙන් යාල ප්‍රදේශයේ සංචාරක හෝටලයක චෙෆ්  වරයෙකු වශයෙන් සේවය කර තිබේ. සෑම මසකට වරක් නිවාඩුවට ගෙදර එන අමිල ඊයේ දිනයේද නිවසට ඒම සඳහා මෙම බස් රථයට කතරගමදී ගොඩ වී ඇත්තේ රාත්‍රි 9.45 ට පමණයි. බස් රථයට ගොඩ වී වාඩි වීමෙන් පසුව  වහාම ඔහු සිය බිරිඳට දුරකථනයෙන් වීඩියෝ ඇමතුමක් ලබා ගෙන ඇති අතර එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ එළි වන විට නිවසට පැමිණෙන බවත් පුතා  වෙසක් බැලිම සඳහා එක් කර ගෙන යන බවත්ය.

අද 12 වනදා දහවල් ඔහුගේ දේහය තැන්පත් කිරිමට  නියමිතව තිබූ  පන්විල පොලීසිය ආසන්නයේ පිහිටි ඔහුගේ ඥාතියෙකුගේ නිවසට අප  යන විටත් දේහය තැන්පත් කිරීම සඳහා නිවස සූදානම් වෙමින් තිබිණ.

මෙහිදී දැඩි කම්පනයට පත්ව සිටින ඔහුගේ බිරිඳ අප සමඟ  හැඩූ කඳුලෙන් මෙසේ කීවාය.

‘ සුජිත් අමිල හපුකොටුව මගේ මහත්තයා .අපට දරුවන් දෙන්නෙක් ඉන්නවා.  මහත්තයා වැඩ කළේ යාල ප්‍රදේශයේ හෝටලයක චෙෆ් කෙනෙක් හැටියටයි. මාස  හයක් විතර ඉඳල තමයි එහේ වැඩ කරන්නේ.  ගෙදරින් අන්තිමට වැඩට ගියේ ගිය මාසයේ අන්තිමට වගේ.මාසයට සැරයක්  නිවාඩුවට ගෙදර එනවා මේ මාසයේ නිවාඩුවට තමයි මේ ආවේ.අපට අවුරුදු හතක පුතෙකුයි මාස නවයක දුවෙකුයි ඉන්නවා.එයාලා බලන්න ආසාවෙන් තමයි ගෙදර එන්න පිටත් වුණේ.මහත්තයා වීඩියෝ කෝල් එක ගන්න වෙලාවේ මම දුවව නිදි කරවන්න වඩා ගෙන හිටියේ එයා දුවත් එක්කත් කතා කළා. පුතා පාඩම් කරමින් හිටියේ ඒ වෙලාවේ පුතා අප්පච්චි අප්පච්චි කියල කතා කළා ‘ඇයි සුදු මහත්තයා‘ ඇයි කියල එයා  ඇහුවා. යැයිද කීවාය.

අප සමඟ අදහස් දැක්වූ  රෝසිගේ මව වන බ්‍රයට්‍රිස් ප්‍රනාන්දු මහත්මිය මෙසේ කීවාය.
“  දුවට දරුවන් දෙදෙනකු සිටිනවා. පුතා තමයි අපේ පවුල නඩත්තු කළේ.  දුවටත් රැකියාවක් නෑ.  පුතා විතරයි රස්සාවක් කළේ යැයිද කීවාය.

මහනුවර පන්විල ගල්පිහිල්ලේ පදිංචිව සිටි ‍ අමිලගේ පවුල දරිද්‍රතාවයෙන් පසු වන පවුලකි. ඔහු යාන්තම් රැකියාවක් කර තම පවුලේ ජීවිත ගොඩ ගන්න සූදානම් වූවා පමණි. අනපේක්ෂිත ලෙස සිදු වූ  මේ බස් අනතුර ඔවුන්ගේ ජීවිත යළි අගාධයකට ඇද දමා තිබේ. ඔවුන්ගේ වැඩිමහල් දරුවා විචක්ෂණ සඳරුවන් හපුකොටුව හත් වන වියේ පසුවන අතර පන්විල ප්‍රාථමික විද්‍යාලයේ දෙවන වසරේ  ඉගෙනුම ලබයි. ඔවුන්ගේ දියණිය ඉමාෂා ඉන්දීවරි හපුකොටුව  මාස නවයන ළදැරියකි.  මේ දරුවන් දෙදෙනා ජීවත් කරවීමේ භාර දූර වගකීම මව වන රෝසිට පැවරී තිබේ. ඇයගේ පවුලට රජයෙන් ලැබෙන කිසිදු ආධාරයක්  නොලැබෙන බවත් ඇය අප සමඟ සඳහන්  කළාය.  පවුලක්ම ජීවත් කරවන්න දැඩි වෙහෙසක් දරමින් සිටි  මෙවන් තරුණයෙකුගේ අකල් මරණය මෙම පවුලට සිදු කර ඇත්තේ වචනයෙන් කිව නොහැකි පාඩුවකි. මෙවන් අකල් මරණ වෙනත් කිසිවකුටත් නොවේවායි පතමු.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *