මිහිරි රසැති තල්කුරුම්බා වාරය ඇවිත්

(සමන්  පෙරේරා ) 

තල් කුරුම්බා රසවත් මෙන් ම ගුණ පිරි ස්වාභාවික පානයකි. වසරකට එක් වරක් සීමිත දින ගණනාවකට තල් වාරය පැමිණේ. ගත නිවන පානයක් නිසා වියළි කලාපයේ බොහෝ පිරිස් තල් කුරුම්බා පානය කිරීමට ප්‍රිය කරති. 

පොල් ගෙඩියේ මුල් අවධිය කුරුම්බා ලෙස හඳුන්වනවා සේම තල් ගෙඩිය ද මේරීමට පෙර තල් කුරුම්බා ලෙස හඳුන්වයි. පොල් කුරුම්බා තුළ ඇත්තේ එක් කුහරයක් වන අතර එහි මදය හෙවත් ලොඳ නිර්මාණය වී ඇත. එහෙත් තල් කුරුම්බා තුළ කුඩා ප්‍රමාණයේ කුහර තුනක් පවතින අතර ඒවායේ තල් කුරුම්බා පිහිටා ඇත. සාමාන්‍යයෙන් තල් කුරුම්බා පොල් කුරුම්බාවලටත් වඩා රසවත් බව බොහෝ දෙනාගේ මතයයි.

තල් කුරුම්බාවල මදය පොල් කුරුම්බාවලට වඩා මෘදුය. එනම් තල් කුරුම්බා මදය ජෙලි ෆිෂ්ලාගේ ස්වභාවයට සමාන විනිවිද පෙනෙන ලෙස මෘදුව නිර්මාණය වී ඇත.

තල් කුරුම්බාවේ ඇති ලොඳ හා එහි අඩංගු වතුර අධික පැණි රසයකින් යුක්ත ය. අධික රශ්මිය කාලයට තල් කුරුම්බා පානය කිරීමෙන් ශරීරයට සීතලක් දැනෙන බව රජරට ජනතාව කියති.

කෙටි කාලයකට පැමිණෙන  තල් කුරුම්බා වාරය දැන් පැමිණ ඇති නිසා මේ දිනවල ඇතැම් ප්‍රදේශවල මාර්ග අයිනේ තල් කුරුම්බා විකුණාගෙන කීයක් හෝ උපයා ගන්නා මිනිස්සු ද හමුවෙති. 

ඒ නවය මාර්ගයේ මරදන්කඩවල උලාංකුලම ප්‍රදේශයේ මග දෙපස තල් කුරුම්බා සුලභව මේ දිනවල විකිණීමට තබා තිබේ. එක් තල් කුරුම්බා ගෙඩියක් රුපියල් 100.00 ට අලෙවි කෙරේ. වන්දනාවේ එන බැතිමතුන් හට රජරට තල් කුරුම්බා ගෙඩියක රස බැලීමට අවස්ථාව උදා වන්නේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *