(අජිත්ලාල් ශාන්තඋදය)
ගංවතුර තත්ත්වයක් හේතුවෙන් වේවැල්වත්ත, පොල්වත්ත ග්රාමයට යාමට තිබු එකම පාලම ගැලවී ගොස් තුන් වසරක් ගතවී ඇතත් පාලම සාදා දීමට කිසිදු බලධාරියෙක් කටයුතු නොකළ බව ගම්වාසිහු කියති.
රත්නපුර වේලැල්වත්ත හරහා බළන්ගොඩ මාර්ගයේ රැවුලාදොල හන්දියෙන් පොල්වත්ත දොළ හරහා යොදා තිබූ පාලම මෙසේ වතුරට ගසාගෙන ගොස් ඇත.
පොල්වත්ත ගමේ පදිංචි එම්.කේ.සී. ගුණවර්ධන මහතා පැවසුවේ ගමේ ගෙවල් තිස් අටක් ඇති බවයි. ඒ හැම දෙනාම මේ පාලම අහිමිවීමෙන් දැඩි අසීරුතාවකට පත්ව ඇති බවද ඔහු කීවේය.
”මේ පාලම නැති හින්දා ගම්වාසීන්ගේ අමු තේදලු අස්වැන්න කර තියාගෙන රැවුලදොළ හන්දියට ගේන්න ඕනෑ. ඒක අපිට හරිම කරදරයක්. ගෙදරකට බඩුමුට්ටුවක් ගෙන්න විදියක් නෑ. මරණයක්, මගුලක් තුලාවක් වුණොත් පිටින් එන මිනිස්සුත් පයින් එන්නේ. මෙතන ඉදලා කිලෝමීටරයක් විතර දුරට පාර තියනවා. පාර කොන්ක්රීට් කරලා තියෙන්නේ. වතුරට ගසාගෙන ගියේ හියුම් පයිප්ප දාලා පාලම හදලා තිබුණ නිසයි. තද වැස්සට පොල්වත්ත දොළේ තද වතුරක් එනවා. ඒ වතුර රැවුලා දොළට වැටෙන්නේ. දොලෙන් එන වතුරපාර යන්න බොක්කු කටවල් ඉඩ මදි. වතුරපාරේ සැරට බොක්කුවේ දෙපැත්තේ බැමි දෙක ගැලවිලා හියුම් පයිප්පත් එක්ක ගහගෙන ගියා. හියුම් පයිප්ප ඇල මැද්දේ තියනවා. අලුපොල ග්රාම නිලධාරී කාර්යාලයත් පිහිටලා තියෙන්නේ අපේ ගමේ.” ගුණවර්ධන මහතා කීවේය.
පොල්වත්ත ගමේ ගෙවල් තිස් අටක් පමණ ඇති බව ගුණවර්ධන මහතා කීවේය. තේ වගාව ගම්වැසියන්ගේ ප්රධාන ජීවනෝපායයි. ඊට අමරතව රජයේ සහ පෞද්ගලික අංශවල රැකියා කරන කිහිප දෙනෙක් ද පාසල් යන දරුවෝද සිටිති. මේ පාලමෙන් එගොඩවී යන පාර හැර වෙනත් පාරක් ගමට යාමට නැත. වේවැල්වත්ත හන්දියේ සිට බළන්ගොඩ දෙසට කිලෝමීටර් එකහමාරක් බළන්ගොඩ දෙසට වන්නට ගම පිහිටා ඇත. පැල්මඩුල්ල ප්රාදේශීය සභා බල ප්රදේශයට එය අයත් වෙයි. මේ බොක්කුව ගැලවි ගිය පසු පුද්ගලික ඉඩමක් හරහා ත්රිරෝද රථයක් යා හැකි ලෙස කිතුල් පටියොදා තාවකාලික පාලමක් සාදා ගෙන ඇත. දැන් ඒ පාලමද අබලන්ව ඇත.



