සබරගමු පළාත් සභාවේ කෝටි හතේ වංචාව සැකකරැවන් පස් දෙනාම තවදුරටත් රිමාන්ඩ්

අජිත්ලාල් ශාන්තඋදය.

සබරගමු පළාත් සභා අරමුදලින් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවට ලබාදුන් රුපියල් හත්කෝටි දාසය ලක්ෂ හතළිස් පන් දහස් දෙසිය විසි හයක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇති නඩුව යළි කැදවු අවස්ථාවේ ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත්  තිළිණ මහේෂ් පීරිස් මහතා  සැකකරුවන්ට ඇප ප්‍රතික්ෂේප කරමින් මේමස 22දා තෙක් රිමාන්ඩ්භාරයේ තැබිමට නියම කළේය.

පැමිණිල්ල ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සදහන් කලේ අත්අඩංගුවේ පසුවන සබරගමු පළාත් සභාවේ මාර්ග අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා සහ එම අමාත්‍යාංශයේ හිටපු සහකාර සැලසුම් අධ්‍යක්ෂවරිය, මුදල් කොමිෂන් සභාව මගින් දී ඇති මාර්ගෝපදේශ හා ප්‍රධාන ලේකම්වරයාගේ උපදෙස්, ඝෘජුවම මගහැර ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම්, විෂය  ලිපිකරු සහ තාක්ෂණ නිලධාරියා සමග සම්බන්ධවී වංචා කිරීමේ අරමුණින් ක්‍රියාකර ඇතැයි  අනාවරණයවී ඇති බවයි.

2016 සහ 2017 වර්ෂ සදහා ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ විවිධ ව්‍යාපෘතිවලට යෙදවීමේදී ව්‍යාපෘති 77කට අදාලව, රුපියල් 7,16,45,226.32ක මුලදල් වංචා කිරිම සම්බන්ධයෙන් ලැබුනු පැමිණිල්ලට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි. සබරගමු පළාත් සභාවේ පළාත් මාර්ග සංවර්ධන, ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක, ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලේකම් ලෙස පත්ව ආ බමුණුආරච්චිගේ චාමර ප්‍රේමනාත් යන  අය විසින් සබරගමු පළාත්සභාවේ හිටපු ප්‍රධාන ලේකම් සුනිල් ජයලත් මහතාගේ ලිඛිත උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය හා වානිජ අපරාධ අංශය වෙත 2023 ජනවාරි 20 දින පැමිණිලි කරතිබුණි.

රිමාන්ඩ්භාරයේ පසුවන සැකකරුවන් පස්දෙනා බන්ධනාගාරය මගින් මෙදින අධිකරණය වෙත ගෙනෙනු ලැබීය. රුපියල් 71645226.32ක මුදලක අලාභයක් සිදුකිරිම,එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය, සාපරාධී විශ්වාසය කඩකිරීම, කූඨ ලේඛන සකස් කිරිම,පොදු දේපල විෂයෙහිලා සිදුකරනු ලබන වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම මුල්‍ය වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් විමර්ශනය කරගෙන යන බවත් ඒ සම්බන්ධ විස්තර වැඩිදුර වාර්තව මගින් ඉදිරිපත් කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පැවසීය.

ඒ අනුව කහන්ගම, කැටලියන්පල්ල, ඇන්තනී ඊ පෙරේරා මාවතේ, අංක 15 දරණ ස්ථානයේ පදිංචි සබරගමු පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) වීරසුරියගේ ප්‍රියන්ත සමන්තිලක, තුංකම, කරවිලයාය, අංක 48 ලිපිනයේ පදිංචි ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ කාර්යාල සහයක දිනේෂා ලක්මාලි කස්තුරිආරච්චි සහ උඩවලව, මුදුන්මල්කඩ දුලිංජනී හි පදිංචි ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ කාර්යාල සහයක අලගියවන්න මොහොට්ටි අප්පුහාමිලාගේ මනුෂිකා දුලංජලී යන තිදෙනාගෙන් ප්‍රකාශ ලබාගත් බව ද පැමිණිල්ල විසින් අධිකරණය වෙත දන්වනු ලැබීය. එහිදි මෙම වංචා සහගත ව්‍යාපෘති කිහිපයක පොදු 35 වවුචරය, වැඩ අවසන් වාර්තාව,බිල්පත් සමග ඉදිරිපත් කළයුතු වාර්තාව, ප්‍රාග්ධන කර්මාන්ත මුදල් ඉල්ලීම, ගොවි සංවිධානය විසින් ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති ඉල්ලිම් ලිපිය, ගොවි සංවිධානය විසින් ලබාදියයුතු වැඩ අවසන් බවට දියයුතු ලිපි ලේඛන, ඔවුන්ගේ අත්අකුරු බවට පිළිගෙන ඇති බවද බී වාර්තාව මගින් අධිකරණයට කරුණු දැක්වීය.

මෙම ප්‍රශ්නගත ව්‍යාපෘති සම්බන්ධයෙන් සඛ්‍යතා අධ්‍යයන වාර්තා කැදවිය යුතු නමුත් සඛ්‍යතා අධ්‍යයන වාර්තා කැදවීමකින් තොරව එම ව්‍යාපෘති ඉටු කිරීමට අනුඥාත නිවේදන හතරවන සහ පස්වන සැකකරුවන් විසින් සිදුකර ඇති බව අනාවරණය වී ඇති බවද පැමිණිල්ල ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුනු දැක්විය.

මෙම ව්‍යාපෘති සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව සමග ගිවිසුම්ගත වු ප්‍රඡා සංවිධාන වලින් කරුණු අනාවරණය කරගැනීමටත්, ප්‍රශ්නගත ස්ථාන, ස්ථානිය පරීක්ෂණ සිදුකිරිමටත්, අදාල ව්‍යාපෘති සම්බන්ධයෙන් මුදල් ලබාගෙන ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් කරුනු අනාවරණය කරගැනීමට, බැංකු වාර්තා අනුව විමර්ශනය කිරිමට ඇති බවද පැමිණිල්ල විසින් දන්වන ලදී. ඒ නිසා සැකකරුවන්ට ඇප දීමට පැමිණිල්ල විරෝධය පළකරන බව ද දැන්වීය.

සැකකාර සබරගමු පළාත් සභාවේ පළාත් මාර්ග, සංචාරක, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නිතීඥ උපාලි මොහොට්ටි  මහතා පැවසුවේ තම සේවාදායකයා හෘද සැත්කම් දෙකකට භාජනය කර ඇති රෝගියෙක් නිසා බන්ධානාගරයේදී ඔහුගේ රෝගී තත්ත්වය ඉහළගොස් ඇති බවයි. ඒ නිසා ඔහු ඇප මත මුදාහරින්නැයි ජනාධිපති නිතීඥවරයා  ඉල්ලා සිටියේය.

එම සැකකරු බන්ධනාගාර වෛද්‍යවරයාගේ නිර්දේශ මත ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ හෘදරෝග විශේෂඥ වෛද්‍යවරයා වෙත ඉදිරිපත්කර රෝග තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් කැදවිමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

නිතීඥ විජිත ජී පුංචිහේවා, අරවින්ද සමරසිංහ යන මහත්වරු සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටියහ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ඇන්ජලෝ ප්‍රනාන්දු, ප්‍රධාන පෙලිස් පරීක්ෂක සජිත්, උප පොලිස් පරීක්ෂක එච්.එම්.ඩී.යූ. තාරුක, සැරයන්වරුන්වන 61237 ඒ.එම.එන්.ඩී.අත්තනායක,  71838 පුෂ්ප කුමාර, කොස්තාපල් 79126 කේ.එම්.ආර්.ජයවර්ධන යන නිලධාරීන් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

වැඩිදුර විභාගය මැයි 22 දිනට කල්තැබුනු අතර සැකකරුවන් එදින දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *