“පොසොන් උත්සවය පැවැත්වීමට රජය අපොහොසත්”මිහින්තලා විහාරාධිපති හිමියෝ පවසති

කිත්සිරි වනසිංහ 

පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව 2333 පොසොන් උත්සවය මිහින්තලා පුදබිම මුල් කරගෙන පැවැත්වීමට රජය තීන්දු කර තිබුණද මේ වන විට මිහින්තලා  පුදබිමේ තණකොළ ගසක් වත් ගලවා නැතැයි මිහින්තලා රජමහා විහාරාධිපති භාරකාර වලවාහැගුනවැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ.

අවැසි ආධාර සැපයීමට රජය අපොහොසත් වන්නේ නම් එළඹෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙන් පසුව තමන් වහන්සේ මහජන ආධාර පතා පිණ්ඩපාත චාරිකාවේ නිරත වන බවද සඳහන් කළහ.

ඉකුත් 9 වැනිදා පෙරවරුවේ මිහින්තලා මැද මලුවේදී පැවති සිව්වැනි පොසොන් කමිටු රැස්වීමේ දී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

අනුබුදු මිහිඳු මාහිමියන් සමරනු වස් 2333 මිහිඳු ජයන්තිය රාජ්‍ය අනුග්‍රහය මත අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට ජනාධිපතිවරයා තීන්දු කර තිබුණද බුද්ධ ශාසන කැබිනට් අමාත්‍යවරයා හෝ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ වන තෙක්ම ඊට කිසිදු මැදිහත්වීමක් සිදු කර නැතැයිද උන්වහන්සේ පැවසූහ.

රටේ භාරකරු වශයෙන් ජනාධිපතිවරයා ලබා දෙන නියෝග ඉන් පහළට ක්‍රියාත්මක නොවන බවත් තමන් වහන්සේ කිසිදු අවස්ථාවක ජනාධිපතිවරයා අපහසුතාවයකට පත් කරණ චේතනාවෙන් කිසිදු අදහසක් ප්‍රකාශ නොකරන බවත් මෙහිදී අවධාරණය කළහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වලවාහැඟුණුවැවේ ධම්මරතන නාහිමියෝ මෙසේද ප්‍රකාශ කළහ.

කියන්නෙම පචනෙ.කිසි දෙයක් කරල නෑ. පළමුවැනි පොසොන් කමිටු රැස්වීමේ ඉඳලා හතර වැනි කමිටු රැස්වීම වෙනකන් කිසිවක් වෙලා නෑ. නිලධාරීන් මාරුවෙන් මාරුවට ලියුම් එහෙ මෙහේ කරපු එක විතරයි වෙලා තියෙන්නේ. මිහින්තලා පුදබිමේ තණකොළ ගහක්වත් ගලවන්න කිසිවෙක් නෑ.මේක මගේ වත්ත නෙවෙයි.මම ඉන්න නිසාද දන්නෙ නෑ එහෙම වෙන්නේ.ඒක නම් ප්‍රශ්නය පොඩි හාමුදුරු නමකට පුටුව දීලා අයින් වෙන්නම්.මල් වත්තේ මහානායක හාමුදුරුවෝ මට මේ භූමියේ භාරකාරත්වය ලබා දීලා තියෙන්නේ. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා නායක හාමුදුරුවන් වහන්සේ මට දුන්න වගකීම මම නොපිරිහෙලා ඉටුකරන්න ඕනෑ. පසුගිය සෑම පොසොන් උත්සවයකදීම පුදබිම ආවරණය වනන පරිදි ස්පීකර් 300 දාන්න වුණා..ලක්ෂ 20 මුදලක් ඒකට වැය වෙනවා. ඒකට කිසිවෙක් නෑ. එසේ කරන්නේ මිහින්තලාවට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත වූ ජනතාවකගේ ආරක්ෂාව හා මග පෙන්වීම වෙනුවෙන්.ආලෝක පූජාවට ලක්ෂ ගණනක් විදුලි බුබුළු දමනවා.ඒකටත් රුපියල් කෝටියක් විතර ඕනේ.ආධාර ලැබුණොත් ඒක කරනවා. නැති වුනොත් විදුලි බල මණ්ඩලයේ පිහිටෙන් අඩු ආලෝකයක් යටතේ හෝ උත්සවය පවත්වනවා.මිහිඳු පෙරහරත් එහෙමයි. පෙරහරට පමණක් රුපියල් ලක්ෂ පනහක් වෙන් කරලා තිබෙනවා.රංගන ශිල්පීන්ට විතරක් රුපියල් ලක්ෂ පනස් අටක් වැය වෙනවා.ඒකටත් ආධාර උපකාර නොලැබුණොත් සංකේතවත්ව මිහිඳු පෙරහර පවත්වනවා.සති පිරිත් පින්කම  ආරම්භ කරන්නට ඉතා කෙටි කලයි තියෙන්නේ. ඒකට යම් මුදලක් වෙන් වුණා කියලා ලේකම්තුමා දැනුවත් කිරීමක් කළා. ඒ මුදල් මදි වුනොත් පරිප්පුයි, බතුයි, පානුයි, රොටීයි, දානෙට දීලා හරි පිරිත් පින්කමක් පවත්වනවා. මූල්‍යමය වශයෙන් රජයට අමාරු නම් ශ්‍රම දායකත්වය දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා.පිණ්ඩපාත චාරිකාවේ ගිහින් හරි රටේ මිනිස්සුන්ගෙන් ඉල්ලලා මිහිඳු මහා රහතන් වහන්සේ වෙනුවෙන් මම මේ පින්කම සිද්ධ කරනවා.මේවා රැක ගන්න ඕනෑ. මිහිඳු මහරහතන් වහන්සේ මේ බිමට වැඩම කරේ නැතිනම් මේ කිසිවක් නෑ. ඒ නිසා උන්වහන්සේ වෙනුවෙන් මේ ගෞරවය පිදිය යුතුමයි. ආගම දහම කෙරෙහි හැඟීමක් හා ගෞරවයක් නැතිනම් මේ කිසිවක් කරන්න බෑ. මම පොසොන් කමිටු රැස්වීම් තුනකට සහභාගි වුණා.ප්‍රතිචාර නෑ. මම ආයේ කිසිම පොසොන් කමිටුවකට එන්නේ නෑ. මිහින්තලේ පුද බිම ආසන්නයේ මස්කඩයක් හා තැබෑරුමක් තිබුණේ නෑ. පහුගිය කාලේ (2023 පසු) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒකත් කරලා දැම්මා. මිහින්තලේ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් නම දහසක් පමණ සිටිනවා. මේ හැමෝගෙම විරෝධතාව ආවා. දිසාපතිවත් ප්‍රාදේශීය ලේකම්වත් නොදැනුවත්ව මේ කටයුත්ත ජනාධිපතිවරයාගේ හා හිටපු අමාත්‍ය  ෂෙහාන් සේමසිංහගේ  උවමනාවට කරළ තිබෙනවා. ඒ මදිවට තැබෑරුමට යන්න පාරත් කාපට් කරලා දීලා. 2023.12.10 පස්සේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන්ගේ තනි මතයට මේ පුද බිමට තිබුණ සම්පූර්ණ ආරක්ෂාව නැති කලා. මේවට විසඳුම් සොයන්නට ඕනේ ඒ බලයම තිබෙන වත්මන් ජනාධිපතිතුමයි. ඒ නිසා මේ වැරදි නිවැරදි කිරීමේ බලය වත්මන් ජනාධිපතිතුමා වෙත පැවරෙනවා යැයිද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්, මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරින් රැසක් මෙම පොසොන් කමිටු රැස්වීමට සහභාගි වී සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *