රැකවරණය වෙනුවට වේදනාව ලැබුණු පසු – අන්ධකාරයේ සිට හඬන්නෝ

(නික්කි රණසිංහ)

කුඩා දරුවන්ට ඇත්තේ ලොව ඇති නොගැඹුරුම සහ පිරිසිදුම දෑස්‍ ය. ඔවුන්ගේ සිනහවට උදෑසන හිරු කිරණ තරමටම අපගේ ආත්මය උණුසුම් කළ හැක. ඔවුන්ගේ දෑත්වල හෝ කම්මුල්වල මෘදු ස්පර්ශය තණකොළ අතරින් ගලා යන සීතල ජල පහරක් මෙන් ලෝකය තෙතැ’ති ආදරයෙන් සහ කරුණාවෙන් පුරවා දමයි.

නමුත් ලෝකයේ සෑම දරුවෙකුගේම ළපටි දෑත්වලට සූරියකාන්ත මල් සහ ඇවිද යාමට උද්‍යානයක ආලෝකමත් මාර්ගයක්  නොලැබේ. ඉන් ඇතැම් පිරිසකට ලැබෙන්නේ උල් ඇනෙනසුළු කටු අත්තක් සහ දුහුවිලි පිරුණු අඳුරු ගුහාවක් පමණි. ලෝකයේ සෑම දරුවෙකුටම එක හා සමාන ආරක්ෂාවක් ලැබෙන්නේ නැති වග අප සියලුම දෙනා දැන සිටින නමුත් ප්‍රමාණවත් තරම් අවධානයක්  ඊට නොලැබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ලොව පුරා සිටින ළමුන් බිලියනයකට වඩා (වයස අවුරුදු 2-17 දක්වා ළමුන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක්) සෑම වසරකම ශාරීරික, චිත්තවේගීය සහ ලිංගික අපයෝජන ඇතුළු යම් ආකාරයක ප්‍රචණ්ඩත්වයකට මුහුණ දෙයි. සෑම මිනිත්තු 13කට වරක් දරුවෙකු හෝ නව යොවුන් වියේ දරුවෙකු මිනීමැරීම නිසා මියයන බව ලෝකය විසින්ම සොයාගත් බොහොම කටුක හෙලිදරව්වකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ළමා අයිතිවාසිකම් පිළිබඳ පනතට අනුව වයස අවුරුදු 18ට අඩු සෑම මනුෂ්‍යයෙක්ම ළමයෙකි.

ළමා අපයෝජනයක් ලෙස අදහස් වන්නේ ළමයෙකුගේ කායික හා මානසික තත්ත්වයට අමතරව, ඔහුගේ හෝ ඇයගේ යහපතට හා යහපත් කල්ක්‍රියාවට එරෙහිව සිදු කරන කුමන හෝ අයහපත් ක්‍රියාවකි. ළමා අපයෝජනය කොටස් තුනකට බෙදා වෙන් කර දැක්විය හැකිය.

  1. කායික – තුවාල වීම්, ශාරීරික වද හිංසා, සමාජ රෝග, අතුරු ආබාධ
  1. මානසික – මානසික ආතතිය, කාංසාව, අධික හිසරදය, රෝගාබාධ, කෑම අරුචිය, තමා පිළිබඳවම ඇති වන අවතක්සේරුව
  1. සමාජීය – කොන් කිරීම, අපහාස කිරීම

පර්යේෂණවලින් සොයා ගෙන ඇති පරිදි බොහෝ දාම ඝාතකයන්ට ඇත්තේ අඳුරු ළමා කාලයකි. අඳුරු ළමා කාලයක් ඇති සියල්ලෝම දාම ඝාතකයන් නොවන අතර දාම ඝාතකයන් සියල්ලන්ටම අඳුරු ළමා කාලයක් නැති නමුත් මේ දැඩි සහ කටුක ළමා කාලයක් සහිත පසුබිමක හැදී වැඩීම ඔවුන් බොහෝ දෙනෙක් අතර පොදු සාධකයකි. එඩ් කෙම්පර්, හෙන්රි ලී ලූකස් වැනි දාම ඝාතකයන් කුඩා කළ අපයෝජනයට ලක් කර ඇත්තේ තමන්ගේ දෙමව්පියන් විසින්මය.

නිසැකවම මුලින්ම අවධානය යොමු විය යුතු වන්නේ “පවුල” කෙරෙහි ය. ළමයා යනු තවමත් පවුලේ රැකවරණය ලබන අයෙකි. දෙමව්පියන් සහ දරුවන් අතර ඉතා ගැඹුරු අවබෝධයක් සහ සන්නිවේදනයක් ඇත්නම් දරුවන් කිසිවිටකත් තමන්ගේ අභ්‍යන්තර හැඟීම් පවුල සමඟ බෙදා ගැනීම සඳහා පසුබට නොවේ. නිසැකවම තමාව අවබෝධ කරගන්නා ඇහුම්කන් දෙන, මිත්‍රශීලී දෙමාපියන් සිටින දරුවෙක් අනිවාරෙන්ම දෙමව්පියන්ගෙන් උපකාර පැතීමට දෙවරක් නොසිතයි.

එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව වයස අවුරුදු පහට අඩු ළමුන් මිලියන 400ක් දිනපතාම තම දෙමව්පියන්ගේ හෝ රැකබලාගන්නන්ගේ අතින් ශාරීරික හෝ මානසිකව පීඩා විඳියි.

ලෝකයේ පමණක් නොව ශ්‍රී ලංකාවේද ළමා අපයෝජනයට ලක්වන්නන් බොහෝමයක් සිටිති. ඊට හොඳම නිදසුන නම් 2025 වසරේ මුල් භාගයේ දී යළිත් ප්‍රසිද්ධියට පත් වුණු අරන් හදාගන්නට ගත් දරුවා මරා දැමූ යුවළගේ සිදුවීමයි. මේ වසර දෙකක් වයසැ’ති කුඩා දරුවාගේ ශරීරයේ පිළිස්සුම් තුවාල සහ ශාරීරික පහර දීම් ඇතුළු තුවාල 90ක් පමණ තිබී ඇත. දරුවාගේ මියයාමට හේතුව දිගුකාලීන වධහිංසා පැමිණීමයි. 2018 මැයි 01 වනදා මාලිගාවත්ත ප්‍රදේශයේදී සිදුවූ මේ කම්පන සහගත සිදුවීමට යුක්තිය ලැබෙමින් 2025 මාර්තු මාසයේදී හදාගන්නට ගත් දෙමව්පියන් යුවළට මරණීය දණ්ඩනය නියම විය.

දරිද්‍රතාවය සහ විරැකියාව, සංස්කෘතික සහ සමාජ සම්මතයන්, ඇතැම් විට දුර්වල නීතිය ක්‍රියාත්මක කිරීම මෙන්ම සමාජ මාධ්‍ය මඟින් ඇතිවන අවදානම් තත්ත්ව ද  ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන තත්ත්වයන් වැඩි වීමට මූලික හේතු කිහිපයක් හඳුනා ගැනීමට හැකිය.

ශ්‍රී ලංකාවේ ළමා අපයෝජනයන්ට එරෙහිව සටන් කොට ළමයින් ආරක්ෂා කිරීම සඳහා පිහිටුවා ඇති සංවිධාන කිහිපයක්ම ඇත. මෙයින් වඩාත්ම කැපී පෙනෙන්නක් වනුයේ “ජාතික ළමා ආරක්ෂක අධිකාරියයි.”

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනතට අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පිහිටුවා තිබේ. මෙහි අරමුණ වන්නේ ළමා අපයෝජන වැළැක්වීම සඳහා වන නීති හා ප්‍රතිපත්ති පිළිබඳව ආණ්ඩුවට උපදෙස් සැපයීම හා අපයෝජනයන්ට ලක්වූ වින්දිත ළමුන් ආරක්ෂා කිරීම හා ප්‍රතිකාර කිරීම සහ සියලු ආකාරයේ ළමා අපයෝජනයන්ට එරෙහිව සිදුකරනු ලබන කටයුතු සම්බන්ධීකරණය හා නියාමනය කිරීමයි.

ළමුන් සඳහා  ළමා හිතකාමී හා සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙහි දැක්ම වන අතර එහි මෙහෙවර ළමුන් සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් සුරක්ෂිත කිරීම වේ.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ඉටු කරන වටිනා කාර්යයන්වල මූලික අදහසක් ගැනීම සඳහා ඉන් කිහිපයක් පහත දක්වා ඇත.

  • සියලු ආකාරයේ ළමා අපචාරවලට අදාළ නීති ක්‍රියාත්මක කිරීම හා නියාමනය කිරීම.
  • ළමා අපචාර හා සම්බන්ද නඩු කටයුතුවල ප්‍රගතිය නියාමනය කිරීම.
  • ළමා අපචාර සහ ළමයින් ආරක්ෂා කිරීම සම්බන්ධ පර්යේෂණ පැවැත්වීම, ප්‍රවර්ධනය කිරීම හා සම්බන්ධීකරණය කිරීම.
  • ළමයින්ගේ සුරක්ෂිතතාවය සහ ළමුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු සැපයීම සහ අධ්‍යාපනය ලබා දීම.

ළමා ආරක්ෂක අධිකාරිය වෙත පසුගිය වසරවල ලැබී ඇති සහ තවමත් ලැබෙමින් පවතින පැමිණිලි නම් බොහෝමය ය. 2020 වසරේ පැමිණිලි 8165ක් ද, 2021 වසරේ පැමිණිලි 11187ක් ද, 2022 වසරේ 10497ක් ද ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී ඇත. ඉන් අපට ආසන්නතම වසරේ එනම් 2024 වසරේ ලැබුණු දත්ත කිහිපයක් පහත දැක්වේ. 

2024 වසරේ දිස්ත්‍රික්ක  හා මාස අනුව පැමිණිලි ලැබීම්

2024 වර්ෂයේ වැඩිපුරම පැමිණිලි ලැබී ඇති දිස්ත්‍රික්කය කොළඹ ය. මාසය ජුලි ය. අඩුවෙන්ම පැමිණිලි ලැබී ඇති දිස්ත්‍රික්කය වන්නේ මන්නාරම ය. මාසය දෙසැම්බර් ය.

2023 සහ 2024 වසරේ ලැබුණු පැමිණිලි කිහිපයක දත්ත සංසන්දනය පහත දැක්වේ.

මේ සෑම ඉලක්කමකින්ම අදහස් වන්නේ එක දරුවෙක් බවත් මේවා හුදෙක්ම ඉලක්කම් පමණක් නොව වසරක් ඇතුළත දී අනාගතය සෙමින් අඳුරට ගිය කුඩා දරුවන් පිරිසක් බවත් අප අමතක නොකළ යුතු ය.

මේ සියල්ලම ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි ලැබුන ගණන පමණි. බොහෝ විට සැබෑ දත්ත මීට වඩා වැඩි විය හැකිය.

ළමා අපයෝජන අවම කිරීම සඳහා ඒවා  හඳුනා ගැනීම සහ දරුවාව නිරීක්ෂණය කිරීම, අදාළ ආයතනවලට වාර්තා කිරීම, ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීම, දරුවාට මෙන්ම දෙමව්පියන්ටද මේ පිළිබඳව නිසි අධ්‍යාපනයක් ලබා දීම සහ දරුවාට අවශ්‍ය මානසික සහය ලබා දීම ද වැදගත් ය.

ළමුන් සම්බන්ධ කුමන හෝ පැමිණිලි කිරීමක් හෝ තොරතුරු දැනුම් දීමක් ඇත්නම් දවසේ ඕනෑම මොහොතක 1929 දරණ අංකයට ඇමතිය හැකිය.

මෙම දුරකතන අංකය ඔස්සේ ලැබෙන සියලුම පැමිණිලි සඳහා අනිවාර්යයෙන්ම අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා අතර සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම ඇමතුම් ලබා දිය හැක. සියලුම ඇමතුම් ගාස්තු වලින් තොර වේ. එසේම මෙම දුරකතන ඇමතුම් ඔස්සේ ලැබෙන සියලුම තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය බැඳී සිටියි.

භයානක සහ ඝනකම් අන්ධකාරය වුවද කුඩා ගිනි දැල්ලකින් ආලෝකමත් කළ හැකි සේම එක් කාරුණික උපකාරයකින් පවා කැඩී බිඳී යන ආත්මයකට බලාපොරොත්තුවක් ඇති කළ හැක. 

ඔබේ එක් ඇමතුමකින්, වචනයකින්, ඉදිරිපත් වීමකින් හෝ විනාඩි කිහිපයක සවන් දීමකින් පවා කුඩා දරුවෙකුගේ අභ්‍යන්තරයේ වේදනාව සුවපත් වීම ආරම්භ වේ. එය තවමත් නොලිය වී ඇති සාරවත් අනාගතයේ ආරම්භයයි.

අවසාන වශයෙන් කුඩා සටහන් කිහිපයක් තබමි.

  • දරුවන් යනු ලෝකයේ වඩාත්ම වටිනාම සම්පත සහ අනාගතය වෙනුවෙන් ඇති හොඳම බලාපොරොත්තුවයි.

        -ජෝන් එෆ්. කෙනඩි

  • කැඩී බිඳී ගිය මිනිසුන් යළි පිළිසකර කරනවාට වඩා ශක්තිමත් දරුවන්ව ගොඩ නැගීම වඩාත් පහසු ය.

         -ෆෙඩ්රික් ඩග්ලස්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *