සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

චම්පිකා මුතුකුඩ

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමගම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කොට තිබේ.

අපහාස උපහාස තර්ජන ගර්ජන මඩ ප්‍රහාර කුමන්ත්‍රණ හා අභියෝග මැද සමගි ජන බලවේගය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර සහයෝගය ලබා දුන් ජනතාවට සිය ආචාරය පුද කර සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ඉදිරියට පැමිණ මෙම මැතිවරණය ශක්තිමත් කිරිමට සහයෝගය ලබා දුන් සියලුම රට වැසියන්ට සිය ගෞරවය පුදකර සිටින බව විපක්ෂ නායකවරයා පැවසීය.

මෑත කාලයේ ජනාධිපතිවරණය හා මහමැතිවරණයේ දී විශාල ජනවරම් දෙකක් ලබා ගත් රජය මාස 6ක් වැනි කෙටි කාලයක් තුළ අතිවිශාල පරිහානියකට කඩාවැටීමකට ලක්ව ඇති බව හෙතෙම අද ප්‍රකාශ කළේය.

විපක්ෂ නායකවරයා සිය ප්‍රකාශය මගින් විපක්ෂයේ සියලු දෙනා එකට එකතු කර ගෙන කටයුතු කරන ලෙසට ජනතාව විසින් පණිවිඩයක් ලබා දී ඇති බවද පවසයි. ජනතා විමුක්ති පෙරමුණ මෙම පළාත් පාලන මැතිවරණය ක්‍රියාත්මක කළේ ජනාධිපතිවරණය ක්‍රියාත්මක කරන ආකාරයට බවත්, මොවුන් ආගම දහම පවා මැතිවරණය වෙනුවෙන් භාවිත කළ බවත් විපක්ෂ නායක වරයා තවදුරටත්  පවසයි.

රටේ ජනතාව මේ වන විට  සත්‍යවාදී මහජන සේවාවක් අනුමත කර ඇති බවත් ,බොරුවට තිත තබා ඇති බවත් හෙතෙම පවසයි.බොරුව පරාජය කරමින් සත්‍යවාදී ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලුම බලවේග එකතු විය යුතු යැයි යන ජන මතය තුළ මේ අභියෝගාත්මක වගකීම වෙනුවෙන් නායකත්වය ලබා දීමට සමගි ජන බලවේගය සූදානම් බවත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන පුද්ගලයන් ලෙස, ජනමතයට හිස නමා, විපක්ෂයේ සියලුම දෙනා එකට එකතු කර ගෙන ජනතාව අපේක්ෂා කරන විශිෂ්ට ජනතා සේවාවක් ලබාදීමට සූදානම් බවත් ඔහු පවසයි.විනිවිදභාවයෙන් යුක්තව ,ප්‍රතිපත්ති ගරුකව, එකමුතුභාවය හරහා රටේ ජනතාවට දැවැන්ත සේවාවක් ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරයි. ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය නායකත්වය ලබා දීමට සූදානම් බවත් බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *