චම්පිකා මුතුකුඩ

දුක සතුට දැරූ මුත් ළඟින් හිඳ බෝ කලක්
නොදැනීම පැමිණ ඇත වෙන්ව යා යුතුු දවස්
හිතම මොරගෑවාට හමුවන්න තව වරක්
නොබලාම නික්ම යමි දෙනෙත යදිනා රුවක්….
පතා ආ නමුත් නුඹ ජීවිතයේ බෝ දුරක්
හිතින් ළංවනු නොහැක අපේ සිතිවිලි වෙනස්
හොරෙන් හද නිදන් කර නොමියෙනා මතකයක්
ඉතින් අවසර දෙන්න තනාගන්නට ලොවක්……
තදින් නෙතු පියාගෙන කඳුළු බිඳු සිරකරමි
මතකයන් සොරොව් ලා හදවතේ බැඳ දමමි
හීන මා නුඹෙන් ලද සුසුම් පොදකින් දවමි
අදක් මිස හෙටක් නැති ලෝකයෙන් නික්ම යමි…..
සත්තමයි සුන්දරයි නුඹෙන් සැනසුණු දවස්
හිත කියයි නුඹ තුරුළෙ නැළවෙන්න තව වරක්
මං මුලා වී සරණු බෑ සිහින තුළ තවත්
මියැදෙන්න ඉඩ හරිමි එය මගේ ලොව වුවත්……
මතකයන් මහිත මෙන් ඔබේ සිත නොරිදාවි
එක්ව ආ ගිය මගේ තව කෙනෙක් ළංවේවි
අඳුරු දිවි මාවතේ මං හෙටත් තනි වේවි
මුවින් හිනැහී සිතින් නුඹ නමින් වැලපේවි….
