අජිත්ලාල් ශාන්තඋදය
වැසි සහිත අයහපත් කාලගුණයක් ඇති වී රත්නපුර දිස්ත්‍රික්කයට ගංවතුර අවදානමක් පැමිණියත්, බාධාවකින් තොරව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව රත්නපුර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී රත්නපුර දිස්ත්‍රික් ලේකම් කේ.එම්.ජී. නිශාන්ත මහතා පැවසුවේය.
කලුගං ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශයට පැයක දෙකක අධික වර්ෂාවකින් රත්නපුර නගරය ඇතුලු පහළ ප්‍රදේශවල සුලු ගංවතුර තත්ත්වයන් පවා ඇතිවී තිබේ. එවැනි යම් ආපදා තත්ත්වයක් ඇති වුව හොත් ඡන්ද විමසීමට හෝ ගණන්කිරීමේ කටයුතු වලට බාධාවක් ඇති නොවන ලෙස විකල්ප වැඩපිළිවෙළක් සුදානම් කර ඇති බව ද රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයා අවධාරණය කළේය.
රත්නපුර මහ නගර සභාව, බළන්ගොඩ සහ ඇඹිලිපිය නගර සභා දෙක, සහ ඇහැලියගොඩ, රත්නපුර, කුරුවිට, පැල්මඩුල්ල, බලංගොඩ, ඉඹුල්පේ, ගොඩකවෙල, කහවත්ත, වැලිගෙපොල, නිවිතිගල, අයගම, කලවාන, ඇඹිලිපිටිය, හා කොලොන්න යන ප්‍රාදේශීය සභා දාහතර සදහා නියෝජිතයින් 06දා පැවැත්වෙන පළාත්පාලන ඡන්ද විමසීමේදී තෝරා ගනු ලබයි. මෙම පළාත් පාලන අයතන දාහතෙන් රත්නපුර මහ නගර සභා බලප්‍රදේශය ඉක්මනින් ගංවතුර තර්ජනයන්ට ලක්වෙයි. සෙසු ප්‍රාදේශීය සභා බලප්‍රදේශද කිහිපයක් ගංවතුර ගැටලුවලට මුහුණ දෙයි.
ගෙවුණු දින දිහිපයේ රත්නපුර දිස්ත්‍රික්කයේ තැනින් තැනට මහ වැසි ඇද හැලුණ ද කලු, කුරු, වේ, දෙනවක්, නිරිඇලි, ගලතුර, කුකුළේ යන ගංගා වල ජල මට්ටම් ඉහළ ගොස් නැති නිසා ඡන්ද විමසීමේ කටයුතු වලට ගංවතුරින් බාධාවක් නොවනු ඇතැයිද දිස්ත්‍රික් ලේකම්වරයා අවධාරණය කළේය.
මධ්‍යස්ථාන 689කදි රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ඡන්ද විමසිමට අවශ්‍ය ඡන්ද පෙට්ටි, ඡන්ද පත්‍රිකා නිකුත් කිරිම රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදි සහ රත්නපුර කුමර විද්‍යාල පරිශ්‍රයේ දී 05දා සිදුවිය.
රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17 සදහා මෙම පළාත් පාලන ඡන්ද විමසීමේදි සභිකයින් 258ක් කොට්ඨාස මට්ටමින් තෝරාගනු ලබයි. සමානුපාතිකව තෝරාගන්නේ 165දෙනෙකි. රත්නපුර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් 932,855ක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇත.
රත්නපුර දිස්ත්‍රික් ලේකම් කේ.ඩී.එම්. නිශාන්ත මහතා
