සංජීවනී පද්මසේන

1886 වසරේ ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරට වෙනදා මෙන්ම පෙර’ඹරින් රැස් විදා හිරු නැගුණු මුත් ඒ අමුතුම දිනයකි. චිකාගෝ නුවර හිස් ගෙඩි හතලිස් දහසකින් පමණ පිරී ගොස් තිබුණේ එය අරගල මධ්‍යස්ථානයක් බවට පත් වෙමිනි. රන් දහඩිය හෙලන කම්කරුවන්ගේ ශ්‍රමය සූරාකන හාම්පුතුන්ගෙන් පැය අටේ සේවා මුරයක් ඉල්ලමින් දැවැන්ත අරගලයකට මේ මහා කම්කරු පිරිස සැරසී තිබුණි. මෙම වැඩ වර්ජනය සඳහා කම්කරුවෝ හැට පන්දහසකට අධික පිරිසක් සහභාගි වී සිටියහ.
මෙම වර්ජනය මැයි 01 වන දින පටන් ගත් අතර මැයි 02 සහ 03 වන දින දක්වාම දීර්ඝ විය. මැයි 03 වන දින වනවිට එය මර්ධනය කිරීමට පැමිණි පොලීසිය සහ කම්කරුවන් අතර ගැටුමක් ඇති විය. එම ගැටුම උග්‍ර වීමෙන් පොලිස් වෙඩි තැබීම් නිසා කම්කරුවන් 06 දෙනෙකු මිය ගොස් 50 දෙනෙකු පමණ තුවාල ලැබීය. අත්අඩංගුවට පත් වූ පිරිස, ප්‍රහාරයන්ට ලක් වූ පිරිස හා පීඩාවට පත් වූ පිරිස නිමක් නැත.

මෙම වෙඩි තැබීමට විරෝධය පාමින් මැයි 04 වන දින චිකාගෝ නගරයේ හේමර්කට් චතුරස්‍රයේ යෝධ රැලියක් සංවිධානය කරනු ලැබීය. මෙහිදී වැඩ වර්ජිත නායකයෝ රැසක් ජනතාව ඇමතූහ. සාමකාමී රැළිය අවසානයේ දී පොලිසිය සහ කම්කරුවන් අතර ගැටුමක් දක්වා උග්‍ර වූ අතර එහි දී නාඳුනන පුද්ගලයෙකු එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්විය. ඉනික්බිතිව උදා වූයේ මහා ගැටුමකි. වැඩ වර්ජකයින් අසීමිතව පීඩාවට පත් වූ අතර චිකාගෝ නගරය රත් පැහැයට හැරුණි. අත්අඩංගුවට ගත් කම්කරු නායකයින් අට දෙනෙකු අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණේ මිනීමැරුම් චෝදනා මතය.
මෙම නායකයින් අතර සිටි ඔස්කාර් තිබේම් නම් කම්කරු නායකයාට වසර පහළොවක සිර දඩුවමකුත්, අනෙකුත් නායකයින්ට මරණීය දණ්ඩනයත් අධිකරණය විසින් තීන්දු කරන ලදී. මෙම නඩු තීන්දුවට එරෙහිව හතර අතින් විරෝධතා එල්ල වීමට පටන් ගැණුනි. එනිසා සැමුවෙල් ජීල්ඩන් සහ ඉයුජින් ෂවාබ් නම් දෙදෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරුණි. මොවුන් එල්ලා මරා දැමීමට නියමිතව තිබුණු 1887 නොවැම්බර් 11 වන දිනට පෙර දිනයේ දී ලුව්ස් ලින්ක් දිවි නසා ගත්තේය. නොවැම්බර් 11 වන දින අනෙකුත් නායකයින් එල්ලා මරා දමන ලදී.
නිර්භීතව සිය මරණයට මුහුණ දුන් කම්කරු නායකයින් අතර සිටි ඕගස්ට් ස්පයිස් නම් නායකයා මරණයට පෙර ප්‍රකාශ කරන ලද වදන අදට ද කම්කරු ව්‍යාපාර අතර ප්‍රචලිත වාක්‍යකි. එනම්,
“අපේ වචන වලට වඩා නිශ්ශබ්දතාවය බලවත් වන කාලයක් නොබෝ දිනකින් එළඹේවි“
යන්නයි.
1893 දී සැමුවෙල් ඉයුජින් හා ඔස්කාර් යන දෙදෙනා සිරභාරයෙන් නිදහස් වන අතර මේ වනවිට ඉලිනොයිස් ප්‍රාන්තයේ නව ආණ්ඩුකාර ඇල්ටිගාල්ට් ප්‍රකාශ කරන ලද්දේ ඉහත නඩු විභාගය අපක්ෂපාතී වූවක් නොවන බවයි.
මේ අනුව දිනකට පැය අටක් ඉල්ලා කරන ලද සාමාන්‍යය විරෝධතාවය නිසා 1886 මැයි මස 06 දෙනෙකු වෙඩි තබා මරා දැමුනු අතර 04 දෙනෙකු එල්ලා මරා දමනු ලැබීය. 03 දෙනෙකු සත් වසරක් සිර දඬුවක් ලැබුණු අතර එක් අයෙක් දිවි නසා ගත්තේය. අත්අඩංගුවට හා පොලිස් ප්‍රහාරයන්ට ලක් වූවන් අසීමිතය.
මෙම කාරණා නිසා පැය 08 සේවා මුරය වෙනුවෙන් දිවි පිදූ හා ලේ වැගිරවූ සහෝදර කම්කරුවන් සැමරීම පිණිස සෑම වසරකම මැයි 01 වන දින ජ්‍යාත්‍යන්තර කම්කරු දිනය ලෙස නම් ලැබූ අතර එදා රුධිරය වැගිර වූ කම්කරුවන්ගේ රත් පැහැය කම්කරුවන්ගේ වර්ණය බවට පත් වූයේ සාමකාමී පෙළපාලියේ රැගෙන ගිය සුදු පැහැති ධජය කම්කරුවන්ගේ රුධිරයෙන් රත් පැහැ වීම සමරමිනි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම මැයි දිනය සැමරීම ආරම්භ වූයේ 1933 දී එවකට කම්කරුවන් වෙනුවෙන් සටන් කළ E.A.ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. 1934 දී දෙවන මැයි දිනය සැමරූ අතර එය පිටකොටුවේ ප්‍රයිස් පාක් හිදී පවත්වනු ලැබීය.
ඉන්පසු දිගටම මෙලෙස කම්කරු දිනය සමරනු ලැබූ අතර පැය අටේ නීතිය සම්මත වීම, විශ්‍රාම වැටුප් අයිතිය හිමි වීම, පුද්ගලික අංශය සඳහා සේවක අර්ථසාධක අරමුදල පිහිටුවීම ආදී ධනාත්මක ප්‍රතිලාභ රාශියක් කම්කරුවන්ට හිමිවුණි.
මෙලෙස එක් එක් කාලවලදී නොයෙක් පීඩාවන්ට, අරගලවලට, ප්‍රහාරයන්ට හා මර්ධනයන්ට යටත් වුණු නමුත් අදටත් අප රටේ ද මැයි 01 වන දින කම්කරු දිනය වශයෙන් සමරනු ලබයි. 1956 දී අග්‍රාමාත්‍ය S.W.R.D. බණ්ඩාරනායක මැතිතුමා විසින් මැයි දිනය නිවාඩු දිනයක් බවට පත් කරනු ලැබීය.
පක්ෂ සහ පාට භේදයකින් තොරව රටේ අනාගතය වෙනුවෙන් ශ්‍රමය වගුරවන කම්කරුවන්ගේ දිනයේ දී ඔවුන්ගේ අයිතිවාසිකම් උදෙසා දිවි පිදූ සහෝදර ජනතාව වෙනුවෙන් ගෞරවය දක්වා ඔවුන්ගේ ජීවිත පරිත්‍යාගය සැමරීමට මෙම දිනය යොදා ගැනීම මේ වනවිට ලෝකයේම සම්මත සිරිතක් වී තිබේ. ඔවුනගේ රන් දහඩියට මිලක් නියම කළ නොහැකි මුත් එය ඇගයීම ගෞරවාදරය දැක්වීම අප කාටත් පොදුවේ කළ හැකි යුතුකමකි.


