සිරි දළඳා දැක්ම අවසන් .

මොහොමඩ් ආසික්

වසර 16 කට පසුව පැවැත්වූ  සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ  බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් පසුව ඊයේ 27 වනදා සවස සාර්ථකව අවසන් විය.   

ඓතිහාසිත සිරි දළඳා දැක්මේ අවසන් දිනය වූ ඊයේ (27) දිනයේදීද  අති විශාල ජනකායක් මහනුවර නගරයේ රැඳී සිටියහ.

කෙසේ නමුත් පසුගිය දිනවල රජය විසින් සිදුකරන ලද ඉල්ලීම අනුව ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා මහනුවර නගරයට පැමිණෙන පිරිස අඩු වී තිබිණ.

ශ්‍රී දළඳා වන්දනය සඳහා වෙන් කර තිබූ  පෝලිම් තුන ක්‍රමක්‍රමයෙන් අඩු වෙමින් තිබෙන අයුරුද අද දහවල් වන විට දැක ගන්නට හැකි විය. කෙසේ වෙතත්  ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට ඩී.එස්. සේනානායක වීදිය ජනතාවගෙන් පිරී පාලනය කරගත නොහැකිව  ගොස් තිබූ අයුරුද, යුධ හමුදාව සහ පොලිසිය බැතිමතුන් පාලනය සඳහා දැඩි වෙහෙසක් දරන අයුරු ද දැකිය හැකිවිය.

පසුගිය අප්‍රේල් මස 17 වනදා පස්වරු 12.30 ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාත්වයෙන් ආරම්භ වූ සිරි දළඳා දැක්ම  ඊයේ 27 වනදා පස්වරු 5.30 ට අවසන් වීමට නියමිතව තිබිණ.

පසුගිය අප්‍රේල් මස 17 වනදා පස්වරු 12.30 ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාත්වයෙන් ආරම්භ වූ සිරි දළඳා දැක්ම  ඊයේ 27 වනදා පස්වරු 5.30 ට අවසන් වීමට නියමිතව තිබිණ.

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ මධ්‍යම පළාත් සංගමය විසින්  කෘතිම  බුද්ධිය සහ සාමාන්‍ය ගණනය කිරීම්ද යොදා ගෙන  සිදු කරන ලද ගණනය කිරීම් අනුව අද 27 වනදා අවසන් වන විට ගෙවී ගිය දින දහය පුරා  ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගත් සැදැහැවතුන්ගේ සංඛ්‍යාව ලක්ෂ හයක් වන බවට ගණනය වී තිබේ. කෙසේ වෙතත් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වන්දනා කර ගැනීම සඳහා මෙම කාලය තුලය මහනුවර නගරයට පැමිණි සැදැහැවතුන්ගේ සංඛ්‍යාව ලක්ෂ 10 ක් පමණ වනු ඇති බවත් එයින් සියයට 60  කට දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට අවස්ථාව හිමි වී ඇති බවත් එම සංඛ්‍යාලේඛණවල සදහන් වෙයි.

ඒ  අනුව සාමාන්‍යයෙන්  දිනකට 60,000 ක බැතිමතුන් පිරිසක් පමණක් දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගෙන ඇති බවත් මෙමගින් හෙළි වෙයි.

පසුගිය දින දහය තුළ දළඳා වන්දනාව සඳහා පැමිණ සිටි පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් ඇති අතර කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු ඒඅතර වෙති. ඊයේ රාත්‍රියේ පෝලිම්වල ස්ටිකර් ලබා ගත් වයෝවෘද්ධ පුද්ගයින්ට සිය ඥාතින්ගේ නිවෙස්වලට  ගොස් නැවත පැමිණිමට ලැබුණු අවස්ථාව උපයෝගී කර ගෙන ඥාති නිවසකට යමින් සිටි පුද්ගලයෙකු කාණුවක ඇද වැටී මෙලෙස මිය ගොස් තිබේ.

අද දිනයේ පස් වරු දෙකේ සිට මහනුවර මහ නගර සභාව, පේරාදෙණිය විශ්ව විද්‍යාලය තවත් සිවිල් සංවිධාන රැසක් මෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනද එක්ව මහනුවර නගරය පිරිසිද කිරීම ආරම්භ කර ඇති අතර පෝලිම් අඩු වනවාත්  සමඟම එම පොලිස් පිරිසිදු කිරීමද සිදු කරමින් පැවතිම විශේෂත්වයකි.

සිරි දළඳා දැක්ම වෙනුවෙන් මහනුවර නගරයේ පාසැල් 61 ක් වසා තිබූ අතර අයින් පාසැල් 24 ක් සිසුන්ට පැමිණීමේ අපහසුව සහ  ජනතාවට ඇති වන අවහිරතාවයන් නිසා වසා තිබූ අතර තවත් පාසැල් 37ක්   ආරක්ෂක අංශයේ නිලධාරින්ගේ  නේවාසික කටයුතු සඳහා වසා තිබිණ.  සිසුන්ගේ පැමිණීමේ අපහසුතාවය සඳහා සහ ජනතාවට සිදු වන බාධාවන් නිසා වසා තිබූ පාසැල් 24 ම  අද  28 වනදා විවෘත කරන බවත් නේවාසික කටයුතු සඳහා යොදා ගත් අනෙකුත් පාසැල් 37 පිරිසිදු කිරීම්වලින් පසුව අනිද්දා එනම් 29 වනදා විවෘත කරන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය.එස්.බි.එස්.අබේකෝන් මහතා කීය.

මහනුවර නගරයට ජනතාව  අද 28 වනදා සිට සාමාන්‍ය පරිදි පැමිණෙන බැවින් ඒ සඳහා අවශ්‍ය පරිසරය සහ  සැකසීම වෙනුවෙන් අවශ්‍ය පිරිසිදු කිරීම් සියල්ල අද අවසන් කිරීමට හැකි වනු ඇති බව නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය සඳහන් කළාය.

වසර 16 කට පසුව පැවැති සිරි දළඳා දැක්ම ලක්ෂ ගණනක් සැදැහැවතුන්ට ජීවිතයේ එක්  වරක් පමණක් ලැබෙන අති උතුම් වූ  ශ්‍රී දන්තා ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනා කර ගැනීමට අවස්ථාව හිමි කරමින් ඊයේ  27 වනදා පස්වරුවේ සාර්ථකව අවසන් විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *