සංස්කෘතික වටිනාකම් සහ අතීත සම්ප්‍රදායන් අමතක කර දියුණුව කරා යා නොහැකියි-ජනපති

යසාංග මහවිතාන

ලෝකයේ කිසිදු රාජ්‍යයක් තම රටේ සංස්කෘතික වටිනාකම් සහ අතීත සම්ප්‍රදායන් අමතක කර දියුණුව කරා ගමන් කර නොමැති  බවත්, වත්මන් රජය රට ගොඩනඟන්නේ ගිලිහෙමින් පවතින සාරධර්ම සහ හර පද්ධතීන් රට තුළ යළි ස්ථාපනය කරමින් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඊයේ (25)සවස ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරයේ රන්වැට සහිත ශෛලමය බෝධි ප්‍රාකාරය විවෘත කිරීමේ උත්සවයට  සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.නව බෝධි ප්‍රාකාරයේ විවෘත කිරීමෙන් පසු පැවැති ප්‍රථම මල් පූජාවද ජනපතිවරයා අතින් සිදුවිය.

යහපත් සමාජයක් ගොඩනැඟීම නීතියෙන් පමණක් කළ නොහැකි බවත්, එහිදී ආගමික දර්ශනය මත පදනම්ව විශාල සමාජීය කාර්යභාරයක් ආගම්වලට ඉටු කළ හැකි බවත් උත්සව සභාව අමතමින් හෙතෙම ප්‍රකාශ කළේය.  එම කාර්යයේදී ගමේ විහාරාධිපති හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ආගමික නායකයින්ට ප්‍රමුඛ වගකීමක් පැවරී තිබෙන බවද ජනපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

අධ්‍යාපන අංශයේ පුළුල් පරිවර්තනයක් මෙන්ම අනාගත පරපුර මත්ද්‍රව්‍ය වලින් බේරා ගැනීම වෙනුවෙන් විශේෂ වැඩ පිළිවෙලක් රජය විසින් සැලසුම් කරමින් පවතින බවද මෙහිදී හෙතෙම අනාවරණය කළේය.

මෙම උත්සව අවස්ථාව සඳහා මල්වතු අස්ගිරි උභය විහාරවාසී මහා සංරඝරත්නයද, රංගිරි දඹුලු රජමහා විහාරාධිපති ආචාර්ය ගොඩගම මංගල නායක හිමිපාණන් වහන්සේ සහ රංගිරි දඹුලු රජමහා විහාරයේ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ භාරකාර ශාස්ත්‍රපති පූජ්‍ය දඩුබැදිරුප්පේ මහින්ද හිමිපාණන් ප්‍රධාන මහා සංඝ රත්නයද, බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාද ගිහි පැවිදි විශාල පිරිසක්ද සහභාගී වී සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *