පරිසරයට ආකරුණික බැතිමතුනි මහනුවර නගරය කිලිටි කිරීමෙන් වළකින්න!

ලක්මිණි නදීෂා 

මේ මහනුවර ප්‍රදේශයේ මේ දින කිහිපයේ දක්නට ලැබුණු තත්ත්වයයි.. ආගමික ශ්‍රද්ධාවක් ඇති මිනිසුන් මේ තරම් අශීලාචාර ලෙස පරිසරය විනාශකර දැමීම කණගාටුවට කරුණකි.

තමන් ගෙනයන සහ පරිත්‍යාගශීලින්ගෙන් ලැබෙන ආහාර වතුර බෝතල් නිසි ලෙස කසල බඳුනකටවත් දැමීමට සංයමයක් නැති මිනිසුන් තුළ ආගමික ශ්‍රද්ධාවක් තිබීම පුදුම සහගතය.

දළදා වන්දනාවට පමිණි ජනතාවට බෙදාදුන් වතුර බෝතල්, යෝගට්, බීම වර්ග සමහර පුද්ගලයින් විසින් භාවිතයට හෝ නොගෙන විසිකර දමා ඇති බව මහනුවර නගරය ආශ්‍රිතව ස්වේච්චා සේවයෙහි යෙදෙන සිවිල් කණ්ඩායම් ප්‍රකාශ කරති. එබැවින් මෙලෙස ලබාදෙන ප්‍රදානයන් හැකි තරම් අවශ්‍ය අය සදහා පමණක් බෙදාදෙන මෙන් ඉල්ලා සිටිමු. මෙහිදී ප්‍රදානයන් නොලැබෙන ප්‍රදේශ හදුනාගෙන බෙදාදීම වැදගත් වනු ඇති බව අපගේ විශ්වාසයයි.

ප්‍රදානයන් ලබාගන්නා සැදැහැවතුන්ද ඒවා අධික තණ්හාවෙන් කිහිපයක් නොගැනීමට වගබලාගත යුතු අතර ඒවා භාවිතා කර, අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම තුළින් පරිසරයද ආරක්ෂා කරගනිමින් දළදා වන්දනාව නිසි පරිදි සිදු කරගැනීමට හැකිවනු ඇත.

බොහෝ දෙනෙක් (තරුණ සංවිධාන, බාල දක්‍ෂ ළමයින්, මුස්ලිම් දැරියන්) ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව කසල බැහැර කිරීම දැඩිසේ අගය කළ යුතුය.එහෙත් ඔවුන්ටත් පිරිසිදු කළ හැකි සීමාවක් තිබේ. දළදා වැඳීමට එන ඔබත් නිසි සේ කසල බැහැර කර නගරයේ පවිත්‍ර බව ආරක්ෂා කර, යළි නිවෙස් බලා  ගියහොත් තමන්ගේ සිතට එකඟව බෞද්ධ දර්’ශනයට අනුව ධාතුන් වහන්සේ වන්දනා කිරීමේ කුසලය වැඩිදියුණු වෙයි.

අනවශ්‍ය ලෙස කෑම/බීම/වතුර නොගන්න . තමන්ට අත්‍යවශ්‍ය නම් පමණක් නොමිලයේ පරිත්‍යාග කරන දෙය වුවත්   ලබාගැනීමට කාරුණික වන්න. ඇතැම් විසිකර දමන ලද වතුර බෝතල්  සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට නොගෙන  ජලය සහිතව වීසිකර  තිබූ බව පිරිසිදු කළ දරුවෝ සාක්ෂි දරති.

මහනුවර යනු ලෝක පූජිත පූජා බිමකි. මේ පූජා බිමට පැමිණ එය අපිරිසිදු කිරීමට  කටයුතු නොකළා නම් ඔබ දෙවියන්ගේ පැසසුමට  ලක්වනු නොඅනුමානය. එසේ නොවුණහොත් දළදා වහන්සේ වන්දනා කිරීමේ පින හෝ ඔබට ලැබේදැයි යන්න සැක සහිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *