ශුද්ධෝත්තම පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙති

චම්පිකා මුතුකුඩ

ලක්ෂ සංඛ්‍යාත කිතුනු ජනතාවගේ සිත් සංවේගයෙන් කම්පා කරමින් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

උන්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ, කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය. ස්වර්ගස්ථ වන විට ෆ්‍රැන්සිස්  පාප් වහන්සේ 88 වන වියෙහි පසුවිය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මසකට වැඩි කලක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියහ.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්ව තිබිණි.

මෙතුමාණන් උපත ලද්දේ ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හීදිය. පූජක පුතකු ලෙස පුහුණුව ලැබීම සඳහා දෙව්සත්හලට ඇතුලත්වීමට පෙර එතුමානෝ කෙටි කලක් රසායනාගාරයක තාක්ෂණික ශිල්පියෙකු වශයෙන්ද, රාත්‍රී සමාජශාලාවක ආරක්ෂක නිළධාරියකු වශයෙන් කටයුතු කළහ.  1969දී ජේසු නිකායික පියතුමකු වශයෙන් පූජකවරය ලබාගත් උන්වහන්සේ 1973 සිට 1979 දක්වා ආජන්ටිනාවේ ප්‍රාදේශීය නායකයාණන් ලෙස කටයුතු කළහ. 1998 වසරේදි බුවනොස් අයර්ස් හි අගරදගුරු පත්වූ එතුමා 2001 වසරේ දි දෙවන ජුවාම් පාවුළු පාප් තුමන් අතින් කාදිනල් ධුරයට ඔසවන ලදි. 2013 පෙබරවාරි 28 දින 16 වන බෙනඩික් ශුද්ධෝත්තම පියතුමා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ හිස් වූ පාප් තනතුර සඳහා එතුමන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස බර්ගොග්ලියෝ කාදිනල් තුමාව තෝරා ගන්නා ලදි.

නිහතමානි, සරළ, අල්පේච්ඡ ජිවිතයක් ගතකරන පුද්ගලයකු ලෙස බොහෝ දෙනා අතර ප්‍රසිද්ධියක් උසුලන එතුමාණෝ දුප්පතුන්ට නිතරම දයාවන්ත පියකු වූහ. වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ සේවයක් උන්වහන්සේගෙන් ලොවට ඉටුවූ බව ලොවම අවිවාදයෙන් පිළිගන්නා කරුණකි.දෙවිපියාණන්ගේ අසීමිත දයාව පිළිබඳ ජිවමාන සාක්ෂියක්  වූ  ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට මොක් සුව පතමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *