කාබනික පොහොර කිලෝ ලක්ෂ ගණනක් අපතේ

සමන් පෙරේරා  

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ක්‍රියාත්මක කළ කාබනික පොහොර ව්‍යාපෘතිය සඳහා නිෂ්පාදනය කළ කාබනික පොහොර කිලෝ ලක්ෂ 50කට අධික ප්‍රමාණයක් තවමත් තැන තැන ගොඩ ගසා ඇතැයි රජරට පොහොර සමාගමේ පොහොර නිෂ්පාදකයෝ  පවසයි.

එමෙන් ම අධික පිරිවැයක් දරමින් පොහොර නිෂ්පාදනයට ගෙනා අමුද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මේ වනවිට කැලෑවලින් වැසී විනාශ වන බව ද ඔවුහු අනාවරණය කරති.

විශේෂයෙන් එවකට පැවති රජය මගින් කෝටි ගණන් වටිනා පොහොර නිෂ්පාදනයට ගොවීන්ට ලබාදුන් යන්ත්‍රෝපකරණ ද විශාල ප්‍රමාණයක් කැලෑවදිමින් තැන තැන විනාශවන බව ද පොහොර නිෂ්පාදන ව්‍යවසායකයෝ පවසති.

මේ වනවිට රටේ සමස්ත ගොවීන් සම්පූර්ණයෙන් ම කාබනික පොහොර භාවිතයෙන් ඈත් වී සිටින අතර ලබන යල් කන්නයේ සිට හෝ ක්‍රමානුකූලව පියවරෙන් පියවර කාබනික පොහොර භාවිතයට ගොවියා යළි යොමු කිරීමේ වැඩපිළිවෙලක් සකසන ලෙස ද ඔවුහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.ඒ තුළින් අධික විදේශවිනිමයක් ද රජයට ඉතිරි කරගත හැකි බව ද ඔවුහු පෙන්වා දෙති.

එවකට රජයේ දේශපාලඥයින් ළඟ සිටි ජාවාරම්කරුවන් කාබනික පොහොර යැයි පවසා වැව් පස් විකුණමින් මෙම වැඩපිළිවෙල අසාර්ථක කළ බව ද රජරට පොහොර නිෂ්පාදකයෝ පවසති. ඒනිසා ප්‍රමිතිගත පොහොර නිෂ්පාදනය කළ ව්‍යවසායකයින් කබලෙන් ලිපට වැටී ඇතැයි ද ඔවුහු පවසති.

නිෂ්පාදන ආර්ථිකයක් පිළිබඳ ප්‍රතිපත්තියක සිටින වත්මන් රජය මේ කෙරෙහි අවධානය යොමු කර රජරට පොහොර නිෂ්පාදකයින්ට කඩිනම් විසඳුමක් ලබා දෙන්නැයි ඔවුහු වත්මන් රජයෙන් ඉල්ලා සිටිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *