මොහොමඩ් ආසික්
වසර 16 කට පසුව පැවැත්වෙන ඓතිහාසික මහනුවර ශ්‍රී දළඳා දැක්මේ තෙවෙනි දිනය වන අද 20 වනදාත් දිවයිනේ නන් දෙසින් සිට ලක්ෂ ගණනක බැතිමතුන් පිරිසක් පැමිණ සිටියහ. අද දිනයේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමේ පෝලිම් කිලෝ මිටර් තුනකට වඩා වැඩි දුරක් දක්වා විහිදී තිබිණ. මහනුවර කටුගස්තොට මාර්ගයේ පෝලිම මහයියාව දක්වා කිලෝ මීටර් තුනකට ආසන්න ප්‍රමාණයක්ද වැව රවුමේ පෝලිම රතු බෝක්කුව පසු කර කිලෝ මීටර් තුනක් පමණ දක්වා විහිදී තිබෙනු දක්නට ලැබිණ.
මෙහිදී අප වෙත අදහස් දැක්වූ ශ්‍රී දන්තධාතූන් වැඳ පුදා ගැනීම සඳහා දිවයිනේ නන් දෙසින් පැමිණ සිටි පිරිස් සඳහන් කළේ තමන් දින තුනක් තිස්සේ පොලිමේ රැඳී සිටින බවයි. කෙසේ නමුත් ඔවුන් බොහෝ දෙනෙකුම සඳහන් කළේ පෝලිමේ රැඳී සිටියදි යම් යම් අපහසුතාවයන් මතු වුවද, තමන්ගේ එකම අරමුණ ජීවිතයේ එක අවස්ථාවක් පමණක් ලැබෙන ගෞතම බුදුන් වහන්සේ ජීවමානව දැක ගත්තා හා සමාන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ දැක බලා ගෙන වැඳ පුදා ගැනීම බවයි.
පසු ගිය දිනයේ කසළ ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය මගින් මතු කර තිබූ චෝදනාව සම්බන්ධයෙන් නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය සඳහන් කළේ මහනුවර නගර සභාවේ කාර්ය මණ්ඩලය නගරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් වෙනුවෙන් උපරිම සේවාවක් ලබා දීම සඳහා දිවා රාත්‍රී වෙහෙසවී සේවය කරන බවයි. කසල ඉවත් කිරීමද නිරත්නතරයෙන් සිදු වන බවත් බැතිමතුන් රැඳී සිටියදී කසළ ඉවත් කිරීමේ ගැටළුව නිසා ඔවුන් එම ස්ථානයෙන් ඉවත් වීමෙන් පසුව එම කසළ ඉවත් කරන නිසා සුළු වේලාවක් එම ස්ථානයේ කසළ රැඳී තිබූ බවයි. කෙසේ නමුත් මේ වන විට එම තත්වයද මඟ හරවා ඇති බවත් කොමසාරිස්වරිය සඳහන් කළාය. මාධ්‍ය මගින් චෝදනා කිරීමට පෙර මෙහි යථා තත්වය අවබෝධ කර ගන්නා ලෙසත් ඇය ඉල්ලීමක් කළාය
නගරය තුල වැසිකිලි පද්ධති 124 ක් ස්ථාපිත කර ඇති බවත් එයට අමතරව ඊයේ 19 වනදා සිට තවත් වැසිකිලි පද්ධති 35 ක් ස්ථාපිත කර ඇති බවත් නාගරික කොමසාරිස්වරිය සඳහන් කළාය. මෙයට අමතරය පානීය ජලය ලබා දීම සඳහා ටැංකි 45 ක් සහ ජල කරාම 145 ක් මෙම සීමාව තුල යොදා ඇති නමුත් පෝලිම්වල රැඳී සිටින පිරිස් ජලය ලබා ගැනීම සඳහා එම ස්ථාන කරා නොයන බව නිරීක්ෂය වූ නිසා අද 20 වනදා සිට ලොරි රථයක් මගින් ඔවුන් රැඳී සිටින ස්ථානයටම ජලය ගෙනවිත් ලබා දීමට පියවර ගෙන ඇති බවත් කොමසාරිස්වරිය සඳහන් කළාය.


