නිමල් කොළඹිස්ස – මහනුවර
වාහන ගාල් කිරීම, පෝලිම්වල දිග ඇතුලුව සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් සඳහා අවශ්‍ය තොරතුරු රැසක් www.police.lk වෙබ් පිටුවේ සිරි දළදා වන්දනා කොටස තුළ අන්තර් ගත කොට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසයි.
දළදා වන්දනාව සඳහා මහනුවරට පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුව සඳහා පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාශයේ මෙහෙයවීම මත මෙම තාක්ෂණික සේවාව සපයා ඇතැයි ඒ මහතා කීවේය.
මෙම වෙබ් පිටුව තුළ සැහැදැවතුන් රැදි සිටින පොල්ම්වල දිග, වාහන ගාල් තුළ තවත් වාහන කොපමණ ප්‍රමාණයක් ගාල් කිරීමට ඉඩ පවතී ද, පොලිසියෙන් නිකුත් කරන විශේෂ නිවේදන, දළදා දැක්ම කාල සටහන්, පොලීිසිය කඩිනමින් සම්බන්ධ කර ගත හැකි දුරකථන හා වට්ස්ඇප් අංක යනාදිය අන්තර්ගත යැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී අද (17) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
නිතරන්තරයෙන් මෙම වෙබ් පිටුව යාවත්කාලීන කරන බවත් එබැවින් මහනුවරට පැමිණෙන සැදැහැවතුන් පෝලිම් සඳහා එක්වීමට ප්‍රථමයෙන් පිටුව පරිශීලනය කිරීම වඩා සුදුසු යැයි ඒ මහතා කීවේය.
මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ, මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක, පොලිස් අධිකාරි ඩී.පී.ඩී ඉලංගකෝන් යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
මේ අතර සිරි දළදා වන්දනා දළදා දැක්මේ ප්‍රගති සමාලෝචනයක් සෑම දිනකම පෙරවරුවේ මහනුවරදී සිදු කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහනුවර මහ නගර සභාව, ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිද හමුදාව, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, විදුලි බල මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුලු ආයතන ගණනාවක දායකත්වය යටතේ මෙම වැඩසටහන සංවිධාන වන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
මහනුවරට පැමිණෙන සැදැහැවතුන්ට අවශ්‍ය සියලු පහසුකම් සංවිධාන කොට ඇතැයි කී ඒ මහතා සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් එම පද්ධති ස්ථාපිත කොට ඇති බව ද කීවේය. සැදැහැවතුන් වෙනුවෙන් සෞඛ්‍ය මධ්‍යස්ථාන හතක්, දුරකථන ආරෝපණය කිරීමේ ස්ථාන කිහිපයක් සකස් කොට ඇතැයි ද හෙතෙම පැවසුවේය.
සැදැහැවතුන්ගේ අවශ්‍යතා පරිදි ඔවුන්ට විවේක ගැනීම සඳහා මහනුවර කැප්පැටිපොල විදුහල හා විවේකානන්ද විදුහල වෙන් කොට ඇති බව කී ඒ මහතා ශ්‍රී ලංකා නාවුක හමුදාව හා ගුවන් හමුදා නිලධාරීන්ගේ අධීක්ෂණය මත එම විවේක ගැනීමේ මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන බව ද පැවසුවේය.
දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ගේ ගමන් මළු ශ්‍රී දළදා මන්දිරයට ගෙන යාමට අවස්ථාව හිමි නොවන බවත් ශ්‍රී ලංකා යුද හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය එක්ව ස්ථාපිත කොට ඇති මධ්‍යස්ථාන වෙත එම භාණ්ඩ ලබාදිය හැකි යැයි කී ඒ මහතා වටිනාකම් සහිත කිසිදු භාණ්ඩයක් රැගෙන ඒමෙන් වළකින ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව ද කීවේය.
ලෝක පූජිත මහනුවර නගරය පිරිසිදුව පවත්වා ගැනිම වඩා වැදගත් වන බැවින් වැව ඇතුලු නගරයට අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් වළකින ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය.
සැදැහැවතුන්ගේ ආරක්ෂාව හා අනිකුත් සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක් ක්‍රියාත්මක වන බව කී ඒ මහතා 081-3146800 සහ 081 3146900 යන දුරකථන අංක ඔස්සේ අවශ්‍ය සේවාවන් ලබා ගත හැකි යැයි ද තව දුරටත් සඳහන් කළේය.
