සමන් පෙරේරා
අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රොටවැව ගම්මානයට වසර ගණනක සිට වන අලි තර්ජන උග්‍ර වී ඇති බව ගම්වාසීහූ පවසති. මේනිසා ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් තම ගෙවතු වගාවන් ආරක්ෂා කරගැනීමට සිදුව ඇතැයි ද රොටවැව වැසියෝ කියති.
නිරන්තරයෙන් ගම් වදින වන අලි රංචුවක් ඉකුත් දා ගම්මානයට කඩාවැද ගෙවතුවල වගා කර තිබූ පොල් වගා රැසකට හානි කළ බව ගොවීහු කියති. දිවා රෑ නොබලා දුක් මහන්සියෙන් සංවර්ධනය කළ පොල් ගස් මෙලෙස වන අලි හානි කිරීමෙන් තමන්ට මෙන්ම රටටත් සිදුවන්නේ පාඩුවක් බව ගොවීහු පෙන්වා දෙති.
රොටවැව ගම්මානයට එල්ල වී ඇති මෙම වන අලි තර්ජනය පිළිබඳ සංජීව උපුල් කුමාර මහතා අප සමඟ මෙසේ කීය.

පොල් ගහක් ගෙඩි හැදෙන තරමට ලොකු කරන්න ලෙහෙසි නෑ. පොල් හිඟයි;මිල වැඩියි; කියන්න කාටත් ලෙහෙසියි. ඒත් පොල් ගෙඩියක් වෙළඳ පොළට දෙන්න ලොකු මහන්සියක්, දුකක් අපි විඳිනවා. වර්ෂාව නැති කාලයට වතුර දාලා ගස් ටික ලොකු කරගෙන අලින්ගෙන් ආරක්ෂා කරගෙන තමයි පොල් ගෙඩියක් වෙළඳ පොළට දෙන්නෙ. සෑම අවුරුද්දකම පීදුණු පොල් ගස් කිහිපයක් ම අලි කනවා. නැවත ඒවට හරියන්න අපි ආයෙත් පොල් හදනවා. එක්කෝ අලින්ටම කන්න දීලා ආණ්ඩුවට රටින් පොල් ගේන්න ඉඩ දීලා බලාගෙන හිටියනම් හොඳයි කියලා හිතෙනවා. මොකද මේ අලි ගැටලුවට කවුරුත් විසඳුමක් දෙන්නෙනැති නිසා.
අද වෙද්දි පොල් ගෙඩියක් රුපියල් 150 ත් 200 ත් අතර මිලකට තමයි වෙළඳපොලේ අලෙවි වෙන්නේ. අලි හත් අටදෙනෙක් ඇවිදින් දවසකට පොල් ගස් තුන හතරක් කෑවම කොච්චර පාඩුද ? මේ පාඩුව ඇති වන්නෙ මට විතරක් නෙවෙයි රටටම. අපි වගා කළොත් තමයි රටට ජනතාවට කන්න ලැබෙන්නෙ. කියන්නෙ නම් වවන්නෝ දිනන්නෝ කියලා ඒත් අපට දැන් වැවිල්ලත් එපා වෙලා තියෙන්නේ. අපිට පැය විසිහතරම දවස් තුන්සිය හැටපස් දවසම ඇහැරගෙන නිදිවරාගෙන ඉන්න ඕනෑ ගොවිතැන් කරන නිසා. මේවා දන්නෙ දුක් විදින ගොවියෝ විතරයි.මේවා කවුරු බලයට ආවත් විසඳුමක් නැති ප්‍රශ්න. නමුත් වර්තමාන ආණ්ඩුවෙන් අපි ඉල්ලා සිටින්නේ මේ සදහා විද්‍යාත්මක විසඳුමක් කඩිනමින් දෙන්න කියලා.



