මොහොමඩ් ආසික්
මහනුවර දිස්ත්‍රික්කයේ වගාවන්ට දැඩි ලෙස හානි සිදු කරන රිලවුන් අල්ලා රන්දෙණිගල ජලාශයේ දූපතක කොටු කිරීමේ ව්‍යාපෘතියක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම පළමු ව්‍යාපෘතිය ලෙස සැලකේ.
රිළවා මෙරට දීර්ග කාලයක් තිස්සේ මිනිසා සමඟ ගැටෙමින් ජීවත් වන සත්ව විශේෂයක් වන අතර රිලා පරපුර මිනිස් පරපුර සමඟ සමීප සබඳතා ඇති සත්ව විශේෂයක් බවත් සඳහන් වෙයි. දීර්ඝ කාලයක් තිස්සේ මෙරට තුළ සිටින මෙම රිලවුන් සම්බන්ධ කතා බහ වැඩි වශයෙන් ඇති වූයේ වසර කිහිපයකට පෙර සිටයි .ඒ මෙරට වගාවන්ට මෙම රිලවුන්ගෙන් සිදු වන හානිය බරපතල බවට පෙනීයාමත් සමඟයි. පසුගිය රජයේ කෘෂිකර්ම අමාත්‍ය ධූරය දැරූ මහින්ද අමරවීර මහතා යෝජනා කර තිබුණේ ශ්‍රී ලංකාවේ රිලවුන් ලක්ෂයක් චීනයට යැවීමටයි. නමුත් එම යෝජනාවට පරිසවේදීන්ගෙන් මතු වූ විරෝධතා සහ අධිකරණමය ක්‍රියාමාර්ග හේතුවෙන් එම ව්‍යාපෘතිය නැවතී ගියේය.
ඉන් පසුව රිලා ගැටළුව මතු වූයේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව නව කෘෂිකර්ම වාරිමාර්ග ඉඩම් පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයත් සමඟයි.වගා හානි කරන රිලවුන් සම්බන්ධයෙන් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට ජනතාවට හැකි බවක් අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ ගැබ්ව තිබුණ බවටත් , අමාත්‍යවරයා සිය ප්‍රකාශයෙන් රිලවුන් මරා දැමීමට වක්‍රකාකරයෙන් අනුබල දෙන බවටත් පරිසර වේදීන් චෝදනා කිරීමත් සමඟ මේ සඳහා විකල්ප යෝජනා රැසක් ඇති විය. මෙම ගැටළුව මතු කළ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති ධුරය හොබවන නිසා මෙම රිලා ගැටළුව විසඳීමේ නියමු ව්‍යාපෘතිය මහනුවරින් ආරම්භ කළ යුතු බවට සම්බන්ධිකරණ කමිටුවට යෝජනාවක් ඉදිරිපත් කළ අතර ඒ සඳහා සැලැසුම් සකස් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතාගේ මූලිකත්වයෙන් සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශේක දංගොල්ල මහතාගේද සහභාගීත්වයෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබීය. එම කමිටුවේ නිර්දේශය වූයේ මහනුවර දිස්ත්‍රික්කයේ වගාවන්ට හානි සිදු කරන රිලවුන්ගෙන් වගාවන් ආරක්ෂා කර ගැනීමේ නියමු පියවරක් ලෙස දිස්ත්‍රික්කයේ රිලවුන් රන්දෙණිගල ජලාශයේ දූපතක කොටු කිරීමයි. මෙම යෝජනාව නැවත සම්බන්ධිකරණ කමිටුව වෙත ඉදිරිපත් කර සම්මත කර ගැනීමෙන් අනතුරුව රාජ්‍ය ආයතනවල අනුමැතියද ලබා ගැනීමට පියවර ගනු ලැබීය.

රිලවුන් අල්ලා දූපතක කොටු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්ම කිරීම සඳහා විශාල මුදලක් වැය වන බවටද ගණන් බලා තිබේ. රිලවුන් කූඩු කර ඇල්ලීම සතුන් ප්‍රවාහනය කිරිම, දූපතට මුදා හැරීම ආදිය සඳහා විශාල වියදමක් දැරීමට සිදු වෙයි. මූලික පියවර සඳහා මධ්‍යම පළාත් සභාව මගින් රුපියල් මිලියන 10 ක් ( ලක්ෂ 100 ක) මුදලක් ලබා දීමට පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා පොරොන්දු විය.
රන්දෙණිගල ජලාශය තුල පිහිටි අක්කර 200 කින් පමණ සමන්විත දූපතක් මේ සඳහා තෝරා ගෙන තිබේ.
මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා සඳහන් කරන්නේ. රිලවුන් අල්ලා දූපතක කොටු කිරීමේ නියමු ව්‍යාපෘතියේ ආරම්භක පියවර වශයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ හේවාහැට ආසනයේ ගම් 15 ක රිලවුන් අල්ලා කොටු කිරීම සිදු කරන බවයි. රිලවුන් නැවත පිහිනා ගොඩබිමට පැමිණීම වැළැක්වීම සඳහා දූපත වටේ විදුලි වැටක් ඉදිකිරීමටත් ඔවුන්ට අවශ්‍ය ආහාර ලැබීම සහතික කිරීමටත් අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරන බවත් මන්ත්‍රීවරයා කියයි.
පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් කෑගල්ල දිස්ත්‍රික්කය තුළ සිදු කරනු ලැබූ නියමු සමීක්ෂණයක් අනුව දිස්ත්‍රික්කයේ පොල් වගාවෙන් සියයට 30 ක් වන සතුන් විසින් විනාශ කර ඇති බව හෙළි වූ බවත් 2023 වසරට වඩා 2024 වසරේදී පොල් අස්වැන්න ගෙඩි මිලියන 190 කින් අඩු වී ඇති බවත් හෙළි වී ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි. පොල් අස්වැන්න මෙතරම් ප්‍රමාණයකින් අඩු වීමට රිලවුන්ගේ හානියද විශාල වශයෙන්ම පවතින බව පෙනේ. පොල්වලට පමණක් නොව අනෙකුත් බෝග රැසකට මෙම වන සත්ව හානියේ බලපෑම පවතී. ඒ නිසා ඒ සඳහා යම් ස්ථිර සාර විසඳුමක් අවශ්‍ය වෙයි. නමුත් ඒ සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති දූපතක කොටු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සැලකිය යුතු කරුණු රැසක්ද පවතී.
රිලවා මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම ගම්මානවල වාගේම පැතිරී සිටින සත්ව විශේෂයකි. ඔවුහු රංචු පිටින් වතුවලට පැන වගාවන් විනාශ කිරිම සිදු කරති. ඔවුන් ආහාරයට ගන්නා ප්‍රමාණයට වඩා විනාශ කරන ප්‍රමාණය වැඩිය .
රිලවුන් අල්ලා දූපතක කොටු කළ ඉතිහාසයක් මෙතෙක් අසන්නට ලැබී නැත එම නිසාම මෙය මේ සඳහා වන පළමු ව්‍යාපෘතියයි. රිලවුන් සඳහා දූපතක් වෙන් කිරීම ලංකාවේ පමණක් නොව ලෝකයේදී මින් පෙර සිදු වු බවක් අසන්නට නොලැබෙයි. එම නිසාම මෙය ක්‍රියාත්මක කිරීමේදී අභියෝග රැසකට මුහුණ දීමට සිදු වනු ඇත යන්න අපගේ හැඟීමයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසන්නේ රිලවාට මිනිසාගේ ඥාතිත්වයක් ඇති නිසා මිනිසුන් විසින් රිලවුන්ට ලබා දෙන ආහාර අනුභවයට පුරුපු වුනොත් දිගින් දිගටම ඒ සඳහා පෙළඹෙන බවයි. මිනිසාගේ නෑයෙක් වුවත් ඔවුන්ගෙන් මිනිසුන්ට සිදු වන හානිය වැළැක්වීමට අහිංසාවාදී ක්‍රියාමාර්ගවල අවශ්‍යතාවය නම් තදින්ම දැනේ.


