මොහොමඩ් ආසික්

ලෝකයේ බොහෝ රටවලට මෙන් අපේ රටටත් දේශගුණික විපර්යාසයේ බලපෑම තදින්ම දැනෙමින් පවතී. ඒ නිසාම මේ දිනවල ජල මූලාශ්‍ර පිළිබඳව වැඩි වැඩියෙන් කතා බහටද ලක් ව තිබේ . ශ්‍රී ලංකාවේ ජල විදුලිය නිපදවීමටත් කෘෂිකර්මාන්තයටත් එක සේ ප්‍රයෝජනවත් වන ලංකාවේ විශාලතම ජලාශය වන වික්ටෝරියා ජලාශය ගැන ඇති වන කතාබහද වැඩි වි තිබේ. ඒ නිසාම වික්ටෝරියා ජලාශයේ වැදගත්කම සම්බන්ධයෙන් විමසා බැලීම මෙහි අරමුණ වෙයි.
සිංහල රජ කාලයේ පටන් මේ රට වචනයේ පරිසමාප්ථාර්ථයෙන්ම සම්පූර්ණ කෘෂිකාර්මික රටකි. වී වගාවට මුල් තැන දෙමින් දේශිය කෘෂිකාර්මික බෝගයන් වගා කරනු ලැබූ ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත කෘෂිකර්මාන්තයක් පැවැති රටකි. විදෙස් රටවලවලට පවා හාල් ඇතුළු කාෂිකාර්මික නිපැයුම් අපනයනය කර ඇති බව ඉතිහාසයේ සඳහන් වෙයි. බිමට වැටෙන එක දිය බිඳක් හෝ මුහුදට නොයැවු මහා පරාක්‍රම බාහු රජ තුමන් මෙරට සහලින් ස්වයංපොෂිත කළේය. නමුත් පසුකාලීනව විදෙස් ආක්‍රමණයන් හමුවේ අපේ රටේ දේශිය කෘෂිකර්මාන්තය බිඳ වැටුණු අතර විදේශිය බෝග සහ ආර්ථික බෝගවලට ප්‍රමුඛතාවය හිමි විය. එම බෝග වගාව සඳහා ජලය වැඩියෙන් අවශ්‍ය නොවීම නිසා ජල මූලාශ්‍ර ගැන තිබූ අවධානයද අඩුව තිබිණ. මේ හේතුව නිසාම නිදහස ලැබීමත් සමඟ අපේ රටේ කෘෂිකර්මාන්තයේ දැවැන්ත හිඩැසක් මතුව තිබෙනු පෙනෙන්නට විය. මේ ගැන පර්යේෂණ සිදු කළ විශේෂඥයින්ගේ මතය වුයේ ශ්‍රී ලංකාවේ දිගම ගංගාව වන මහවැලි ගඟ හරස් කර ජලය රජ රට ඇතුළු වියළි කලාපයට රැගෙන යාම මගින් පානීය ජලය සැපයීමටත්, කාෂිකර්මාන්තය සඳහා වාරි ජලය සැපයීමටත් මෙන්ම බල ශක්ති අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විදුලිය නිපදවීමටත් හැකි බවයි.
කෙසේ නමුත් දීර්ඝ කාලයක් තිස්සේ කතාබහට ලක්වූ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ආරම්භ කිරීමේ උත්සාහය මෙරට බිහිවූ සියලු නායකයින් විසින් දරනු ලැබ තිබේ. නමුත් මෙය මුලින්ම ක්‍රියාවට නංවමින් මහවැලි සංවර්ධන ව්‍යාපාතියේ මුල්ම ඉදිකිරීම වන පොල්ගොල්ල වේල්ල සඳහා 1970 දි එවකට අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා අතින් මුල් ගල් තැබිණ. නමුත් එහි පළමු අදියර මහනුවර පොල්ගොල්ලේදී විවෘත කරනු ලැබුවේ පසුව අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය විසින් 1976 දීය. එම යෝජනා ක්‍රමය අනුව මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය වසර 30 කින් අවසන් කිරීමට යෝජනා වි තිබිණ.

එසේ වුවත් 1977 දී බලයට පත් ජේ ආර් ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් එජාප රජය මෙය කඩිනම් යෝජනා ක්‍රමයක් ලෙස වසර පහකින් ක්‍රියාත්මක කර අවසන් කිරීමට තීරණය කළේය. ඒ අනුව ඉදි කළ විශාලම ජලාශය ලෙස වික්ටෝරියා ජලාශය හැදින්විය හැකියි. මහා බ්‍රිතාන්‍යයේ ආධාර යටතේ වික්ටෝරියා ජලාශය ඉදි විය.
බ්‍රිතාන්‍ය රජයේ ආධාර යටතේ වික්ටෝරියා වේල්ලේ ඉදි කිරීම් කටයුතු 1978 වසරේ දී හිටපු ජනාධිපති ජේ ආර් .ජයවර්ධන මහතා විසින් ආරම්භ කෙරිණ. එය 1985 අප්‍රේල් 12 වනදා මහා බ්‍රිතාන්‍යයේ එවක අගමැතිනි මාග්‍රට් තැචර් මහත්මිය අතින් ආරම්භ කිරීම සිදු කෙරිණ.

මහනුවර දිස්ත්‍රික්කයට අයත් තෙල්දෙණිය නගරය සහ ආශ්‍රීත ප්‍රදේශය යට කර මෙම ජලාශය ඉදි කරනු ලැබු අතර අදද ජලය සිඳී ගිය අවස්ථාවන්වල පැරැණි තෙල්දෙණිය නගරයේ නටබුන් මතු වනු දැකිය හැකිය. එය නැරඹීම සඳහා විශාල පිරිසක් පැමිණීමද සිරිතක්ව පවතී.
වික්ටෝරියා ජලාශය සඳහා ඉදි කර ඇති වේල්ල මිටර් 122 ක උසින්ද මිටර් 520 දිගින්ද මීටර් 6.5 ක පළලකින්ද යුක්ත වෙයි. මෙම වේල්ල මාර්ගයෙන් වික්ටෝරියා ජලාශයද ඉදි කරනු ලැබීය. වික්ටෝරියා ජලාශය වර්ග කිලෝ මිටර් 22.7 ක මතුපිටක පැතිර පවතින අතර එය ජලය ඝණ මිටර් 72,20,00,000 ක ( හැත්තෑ දෙකෝටි විසි ලක්ෂයක) ජල ධාරිතාවකින්ද යුක්ත වෙයි.එමෙන්ම වර්ග කිලෝ මීටර් 1869 ක ජල ධාරා ප්‍රදේශයක්ද එයට හිමි වෙයි.
වික්ටෝරියා වේල්ලේ අතිරික්ත ජලය පිට වීම සඳහා ස්වයංක්‍රීය වාන් දොරටු අටක් නිර්මාණය කර තිබේ .එම එක් දොරටුවක දිග මිටර් 12.5 ක් වන අතර පළල මීටර් 6.5 ක් වෙයි මෙම වාන් දොරටු ජලාශයේ ජලය ඉහළ යන විට අවශ්‍ය ප්‍රමාණයට ස්වයංක්‍රීයව විවෘත වෙයි. මීට අමතරව වේල්ලේ පහළද වාන් දොරටු දෙකක් පවතින අතර එය ජලාශයේ රොන් මඩ ඉවත් කිරීම සඳහා භාවිතා කරයි.
වියළි කලාපයේ වගා බිම් හෙක්ටයාර් 3 ,65,000 කට ජලය සැපයීමත්, මෙගා වොට් 600 ක විදුලිය නිපදවීමටත් එයට අමතරව පානිය ජලය සැපයීමත් අරමුණු කර ගෙන මෙම ජලාශය නිර්මාණය කරනු ලැබ තිබේ.
එසේ වුවද ලෝකය පුරා පවතින කාලගුණ විපර්යාසය අපේ රටටද බල පා තිබේ. එහි බල පෑම මත සෑම වසරකම වික්ටෝරියා ජලාශයේ ජලයද විශාල වශයෙන් අඩු වීම දක්නට ලැබෙයි.
වික්ටෝරියා ජලාශයේ ජලය අඩු වීම පසුගිය වසරවලද විශාල වශයෙන් වාර්තා වු අතර එයට විවිධ හේතු ක්ෂේත්‍රයේ විශේෂයින් විසින් දක්වන ලදී. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කර තිබුණේ ජලාශයේ ජලය අඩු වීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි. එම කාලයේ වික්ටෝරියා ජලාශය ආශ්‍රිතය සුළු භූ කම්පන කිහිපයක්ද සිදුව තිබූ අතර එයත් මෙම ජලය අඩු වීමත් අතර යම් සම්බන්ධයක් ඇත්දැයි සෙවිමද කළ යුතු බව එදා විශේෂඥයින් ප්‍රකාශ කළහ. එවාගේම තවත් විශේඥයින් පිරිසක් සඳහන් කළේ ජලාශය ආශ්‍රිතව පවතින හුණු ගල් නිසා පොළොව අභ්‍යන්තරයේ ඇති විය හැකි පැල්මක් නිසාද මෙය සිදු විය හැකි බවයි. මේ සියල්ල පසුගිය වසරවලට අදාළ කතිකාවන්ය. නමුත් මෙවරද මේ වන විටත් ජලාශයේ ජලය අඩු වැඩි වෙමින් තිබේ. එයට නම් හේතුව විය හැක්කේ කාලයෙන් කාලයට පවතින කාලගුණික තත්වයන් විය හැකිය.
මධ්‍යම කඳුකරයෙන් ආරම්භව කියෝ මිටර් 335 ක් පුරා ගමන් කරමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට පානීය ජලයත් ආහාර සකසා ගන්න වගා ජලයත් මෙන්ම විදුලි බලයත් ලබා දෙන මහවැලි ගං කොමලියද සිය ජල ධාරිතාවයන් කාලයෙන් කාලයට අඩු වැඩි කර ගනිමින් සිටියි.
වික්ටෝරියා ජලාශය යන්න මෙරට ආර්ථිකයේද, කෘෂිකර්මාන්යේද බල ශක්තියේද මුදුන් මල් කඩයි. මෙරට ජනතාවගේ බඩ ගින්න නිවන්නට අඳුර මකන්නට පිපාසය සන්සිඳුවන්නට වික්ටෝරියා ජලාශය ඇතුළු මහවැලි ව්‍යාපරයෙන් සිදු වන පිටිවහල සුළු පටු නොවෙයි.


