අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් නීති උල්ලංඝනය කරමින් මැතිවරණ වේදිකාවේ

කිත්සිරි වනසිංහ අනුරාධපුර 

වැටුප් රහිත නිවාඩු වෙනුවට වැටුප් ලබමින් , සේවයෙන් ඉල්ලා අස්වීම වෙනුවට රාජකාරියේ නිරත වෙමින් අධ්‍යාපන වෘත්තිකයන් මැතිවරණ අපේක්ෂකයන් ලෙස මැතිවරණ වේදිකාවේ සිටින බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්ව සිටින අධ්‍යාපන පද්ධතියට සම්බන්ධ නිලධාරීන් ආයතන සංග්‍රහය සහ විනය නීති කඩ කරමින් මැතිවරණ ව්‍යාපාරයේ යෙදුන ද ඊට කිසිදු ක්‍රියාමාර්ගයක් නැතැයි හෙතෙම සඳහන් කරයි.

ශ්‍රී ලංකා ගුරු සේවය , ශ්‍රී ලංකා විදුහල්පති සේවය , පාසල් අනධ්‍යයන  කාර්ය මණ්ඩල හා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් මෙසේ මැතිවරණ හා සිය සේවා ව්‍යවස්ථාවන් උල්ලංඝනය කරමින් සිටින බව ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි. 

ලංකාව පුරා අධ්‍යාපන පද්ධතියට සම්බන්ධ ගුරු විදුහල්පතිවරු අනධ්‍යයන  සේවකයින් හා අධ්‍යාපන පරිපාලනයේ වෘත්තිකයන් 350 අධික ප්‍රමාණයක් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා  අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් ව සිටී.

මෙම පිරිසෙන් 10% පමණ පිරිසක් පමණක් මේ වන විට නීතිමය රාමුව තුළ සේවා ව්‍යවස්ථාවන්ද පිළිපදිමින් මැතිවරණ ව්‍යාපාරයේ නිරතව සිටින බවත් අනෙක් පිරිස සේවා ව්‍යවස්ථාවන් හා මැතිවරණ නීතිය උල්ලංඝනය  කරමින් සිටින බවත් මේ පිළිබඳව තමන් මැතිවරණ නිරීක්ෂණ කමිටුව වෙත පැමිණි කළ බවත් ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.

උතුරු මැද පළාත තුළ පමණක් අධ්‍යාපන සේවයට අයත් විවිධ නිලධාරීන් 48 දෙනෙකු මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අතර මින් වැඩි පිරිසක් නීති පිළිබඳව නොතකමින් මැතිවරණ ව්‍යාපාරයේ නිරත වන බවද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *