අක්කර පනහක කැලයක් ඩෝසර් දාලා හොරෙන් කපලා

සමන් පෙරේරා

තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අමුනිච්චිය ග්‍රාම නිලධාරී වසමේ පිහිටි මකර වැව රක්ෂිතයේ අක්කර 50ක පමණ රජයේ ඉඩමක් ඩෝසර් දමා විනාශ කරමින් සිටිය දී ඩෝසර් යන්ත්‍රයක් සමඟ සැකකරුවෙකු අද (08) දහවල් අත් අඩංගුවට ගත් බව තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි.

තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කේ.පි. කේ.එල්.පී. මධුවන්තී මහත්මිය ලද තොරතුරක් මත ඉඩම් නිලධාරී, පරිපාලන ග්‍රාම නිලධාරීන් ඇතුළු නිලධාරීන් පිරිසක් එහි ගොස් පරීක්ෂා කිරීමේදී මෙම වන විනාශය සිදුවන අයුරු දැක ප්‍රාදේශීය ලේකම්ට ඇති බලතල අනුව බැකෝ යන්ත්‍රය සහ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරුව ප්‍රදේශීය ලේකම්තුමිය ඇතුළු නිලධාරීන් වහාම ඩෝසර් යන්ත්‍රයේ යතුර තමන් භාරයට ගෙන ඉදිරි ක්‍රියාමාර්ග සඳහා මොරගොඩ පොලිසිය වෙත භාර දෙන ලදී

එම භූමියේ පිහිටි පලු, වීර ආදි රූස්ස ගස් රැසක් බිම හෙලා විනාශ කර ඇති අතර එම නිලධාරීන් යනවිටත් පරිසර පාලුවන් විසින් ඩෝසර් යන්ත්‍රයක් යොදා කැලෑ හෙළි කරන අයුරු දැක ගත හැකි විය.

රිටිගල රක්ෂිත‍යට ද මායිම් වූ මෙම කැලෑබද ප්‍රදේශය වන අලි බහුල වශයෙන් ජීවත් වන ප්‍රදේශයකි. කිසිවෙකුටත්, ඇස නොගැටෙන් ලෙස සිදු කර ඇති මෙම වන විනාශය ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම උග්‍රවීමට ද ඍජු බලපෑමක් එල්ල කරන බව අප කළ විමසීමක දී තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කේ.පි.කේ.එල්.පී. මධුවන්තී මහත්මිය කීවා ය.

ඇය මෙසේ ද කීවා ය.

අක්කර 50ක විතර ඉඩමක් වගා කිරීම සඳහා කිසියම් පුද්ගලයෙකු විසින් අනවසරයෙන් හෙළි පෙහෙළි කිරීම් කටයුතු සිදු කරන බවට අපිට තොරතුරක් ආවා. මමත් ඉඩම් නිලධාරීතුමත්, පරිපාලන ග්‍රාම නිලධාරීතුමත්, ආපදා කළමනාකරණ නිලධාරීතුමත්, ග්‍රාම නිලධාරීතුමත් ඇතුළු කණ්ඩායමක් එහි ගොස් පරීක්ෂා කර බැලුවා. එහිදී අපට නිරීක්‍ෂණය කර ගත හැකි වූයේ පලු වීර වැනි ඉතා වටිනා ගස් ඇතුලුව විශාල ගස් ප්‍රමාණයක් විනාශ කර ඇති බවයි.”

“වන සතුන්ට දැන් ඉතිරි වෙලා ඉන්න තියෙන්නේ බොහොම කුඩා භූමි ප්‍රදේශයක්. ඉතින් මේ කැලෑත් මේ විදිහට හෙළි පෙහෙළි කළොත් එම සත්තුන්ට ඉන්න හිටින්න තැනක් නැති වෙනවා. විශේෂයෙන්ම වන අලි තර්ජනවලට මුහුණපාලා තියෙන ප්‍රදේශවල අලි මිනිස් ගැටුම තවත් උග්‍ර වෙන්න පුළුවන් මේ වගේ විශාල කැලෑ හෙළිපෙහෙළි කළොත්. ඒ නිසා මෙම පරිසර විනාශ කරපු අයවලුන්ට අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. එවැනි කැලෑ කපන්නන්ට රජයේ නිලධාරීන් හැටියට අපගේ කිසිදු ඉඩක් ලැබෙන්නේ නැහැ….”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *