කරපටි කන් බස්සන්ගේ ජනපදයක්

හේවාහැට-චම්පික දසනායක 

කරපටි කන් බස්සා (COLLARED SC0PS OWL) නිස්කලංක ගෙවතු හා කුඩා ප්‍රමාණයේ ලඳු කැලෑ සිය වාසස්ථාන කරගනිමින් ජීවත්වන නිශාචර බස්සන් විශේෂයකි 

දෙමලිච්චකුගේ ශරීර ප්‍රමාණය තරම්වන ශරීරයකින් හෙබි සුදු පැහැය මිශ්‍රවූ දුඹුරු පැහැ පිහාටු වලින් සමන්විත කරපටි කන් බස්සා රාත්‍රී කාලයේ ගෙවතු හා වගාබිම් ආශ්‍රිතව සුලබව දැකිය හැකි වුවත් දිවා කාලයේ නිද්‍රාශීලීව අඳුරු ගස්වල ලැග සිටින උන්ගේ වාසස්ථාන දැක ගැනීමට හැකිවන්නේ කලාතුරකිනි 

කුඩා ප්‍රමාණයේ ගෙවත්තක ගස්වැල් වලින් හොඳින් ආවරණයවූ වදුලක් සිය වාසස්ථානය කර ගනිමින් දිවා කාලයේ ආරක්ෂිතව ගතකරන කරපටි කන් බස්සන් සිව් දෙනෙකුගෙන් සමන්විත ජනපදයක තොරතුරු දීර්ඝ කාලයක් තිස්සේ සිදුකල ගවේෂණයකින් පසුව අනාවරණය කර ගැනීමට මෙම ලියුම්කරුට පසුගිය දිනෙක අවස්ථාව උදාවිය

බස්සන් විශේෂ දෙසීයකට අධික ප්‍රමාණයක් ලොව විවිධ රටවලින් වාර්තා වන අතර ශ්‍රී ලංකාව තුළ වාසය කරන බස්සන්  එකිනෙකට වෙනස් වූ  විවිධ පරිසර පද්ධති ආශ්‍රිතව වාසය කරන බවට පරිසරවේදීන් විසින් අනාවරණය කරගෙන ඇත 

 අපේ රටේ වෙසෙන බස්සන් ප්‍රධාන කුල දෙකකට බෙදේ.

1.වෙස්බැසි කුලය

 2.මාමුහුණු කුලය

එම කුල දෙකයි. කරපටි කන් බස්සා මෙහි සඳහන් දෙවැනි කුලයට අයත්වන අතර මෙම කුල දෙකෙන්ම බස්සන් විශේෂ දොළහක් මෙරට වාසය කරන බවට පක්ෂී ගවේෂණ වලදී විශේෂඥයන්  විසින් අනාවරණය කර ඇත

සාමාන්‍යයෙන් කරපටි කන් බස්සන්ගේ ගැහැණු හා පිරිමි පක්ෂියා රාත්‍රී කාලයේදී එකට දැකිය හැකි වුවත් පැටවුන් සමග සිටින සිව් දෙනෙකුගෙන් සමන්විත පවුල් ඒකකයක් දැක ගැනීමට ලැබීමත් එම පක්ෂීන් විශේෂය දිවා කාලයේ රැඳී සිටින වාසස්ථානය පිළිබඳව තොරතුරු අනාවරණය කරගැනීමට ලැබීමත් විශේෂත්වයකි 

පක්ෂීන් සම්බන්ධයෙන් පොදු කාරනා හා සැසඳිමේදී මෙරට වෙසෙන අනෙකුත් පක්ෂීන්ට වඩා හැඩයෙන් රුදුරු පෙනුමක් ගැනීමත් බස්සන් පිළිබඳව ඇති මිත්‍යා විශ්වාස හේතුවෙන් හේවාහැට ප්‍රදේශයේ පිහිටා ඇති බස්සන් වාසය කරන මෙම පරිසර පද්ධතියට අවස්ථා ගණනාවකදීම කිසියම් පුද්ගලයෙකු හානි කිරීමට එරෙහිව නීතිමය පියවර ගැනීමට පවා සිදුව ඇත

බස්සන් පිළිබඳව වැරදි මත සමාජ ගතව තිබුනත් කෘෂිකර්මාන්තයේ පළිබෝධ පාලනයේදී මෙන්ම පරිසර පද්ධතියක සමතුලිත භාවයට බස්සන්ගෙන් සිදුවන මෙහෙය පිළිබඳව බොහෝ පිරිසක් අවධානය යොමු නොකිරීම කනගාටුවට කරුණකි   

පෙබරවාරි මාසයේ සිට මැයි මාසය දක්වා කාලය අතරතුර කරපටි කන් බස්සන්ගේ සුවැදි සමය (BREEDING SEASON ) වන අතර ගස් බෙනයක හෝ ආරක්ෂිත ගුහාවක  බිත්තර දැමීමෙන් පසුව පැටවුන් බිහිවන තුරු හා ඉන් පසුවත් මව් කිරිල්ලිය හා එකට වාසය කරන පැටවුන්ට ආරක්ෂාව සලසමින් පිරිමි පක්ෂියා ආසන්නම ස්ථානයක වෙනම වාසය කිරීමත් මෙම පරිසර පද්ධතිය තුලදී හොඳින් නිරීක්ෂණය කළ හැකිය  

වනජීවී ආඥාපනත යටතේ ආරක්ෂිත පක්ෂියෙකු ලෙස නම්කර ඇති කරපටි කන්බස්සන් සිව්දෙනෙකු එකට වාසය කරන මෙවැනි ස්ථානයක් එම සතුන්ගේ ජනපදයක් ලෙස නම්කල හැකි බව මේ පිළිබඳව ගවේෂණයක නිරතවූ වනජීවී ඡායාරූප ශිල්පියෙකු වන වෛද්‍ය චම්මික දිසානායක මහතා සඳහන් කරයි 

 

දිවා කාලයේදී අඳුරු ගස් අතු අතර දිවි ගෙවන කුඩා ශබ්දයකට පවා ක්‍රියාශීලීව ප්‍රතිචාර දක්වන පරිසරයේ සමතුලිතතාවය රැක ගැනීමට නොමද දායකත්වයක් ලබාදෙන මෙවැනි පක්ෂීන්ගේ පැවැත්මට බාධා එල්ල කරන කටයුතු අවම කරගැනීමට මිනිසුන්ගේ අවධානය යොමුවිය යුතුය 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *