
තිරප්පනේ සමන් පෙරේරා
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හුරුළුවැව ගොවි ව්‍යාපාරයේ යල කන්නය සඳහා වූ කන්න රැස්වීම පසුගිය මස (20) දින පැවැත්විණි. එහිදී තීරණය වී ඇත්තේ මෙවර වැඩි වශයෙන්ම වී වගාව සිදුකිරීමටය. හුරුළුවැව යටතේ අක්කර 10400 කුඹුරු ප්‍රමාණයක් ඇති අතර මේ වන විට ගොවීන් විසින් එම කුඹුරුවල සී සෑමේ සහ නියර බැඳීම යනාදි බිම් සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදුකරමින් පවති.
මෙම වැඩකටයුතු ආරම්භ කළත් බිත්තර වීවල මිලගණන් අධික වීම හේතුවෙන් ඔවුන් දැඩිලෙස අපහසුතාවයට පත්ව ඇති බව ගොවීන් පවසයි. මේ වන විට වෙළදපොල තුළ බිත්තර වී වල පවතින මිල අධිකවීම සහ මේ වන විට ගොවීන් ළග තිබෙන ඇතැම් බිත්තර වී වර්ග පැළ නොවීම හේතුවෙන් ද එම ගොවීන් අපහසුතාවයට පත්ව තිබේ.
වෙළදපොල තුළ මේ වනවිට බිත්තර වී කිලෝ 20ක ප්‍රමාණයක මිටියක් රුපියල් 5200 – 5500 ත් අතර වූ මිලකට අලෙවි වන බව ගොවීන් කියයි. පසුගිය යල කන්නය වනවිට බිත්තර වී වල මිල 4750 කට ආසන්න මුදලක් වු බව මෙම ප්‍රදේශයේ ගොවීන් පෙන්වා දෙති.
තමන් ළග තිබු අත කන කර උකසට තබා ණය වී මෙම වගාවන් සිදුකරනු ලබන්නේ විශාල බලාපොරොත්තු මැද නමුත් මේ වන විට මෙවැනි කෘෂිකාර්මික අමුද්‍රව්‍යවල මිලගණන් දිගින් දිගටම මිල වැඩිවුවහොත් ඔවුන් දැඩිලෙසම අපහසුතාවයට පත්වන බව එම ප්‍රදේශවල ගොවි ජනතාව පවසයි.
කෘෂිකර්මාන්තයට සම්බන්ධ බලධාරීන්ගේන් ඉල්ලා සිටින්නේ කඩිනමින් මෙම බිත්තර වී සඳහා වෙළෙඳපොල තුළ සහනදායි මිලකට ලබාගැනීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර දෙන ලෙසයි.



