සංජීවනී පද්මසේන

සඳ සිය සිහින් කාන්තිය නිවා දමමින් තරු මිණිද සමඟ සැඟවෙන්නට මාන බලන හිමිදිරියේ සීතල පිණි මැද්දෙන් ඇසෙන මිහිරැති ගෙජ්ජි නාදයකි. ගිරි දුර්ඝ මැදින් ඈතින් ඈතට යන මහත් දුෂ්කර ගමන ගැන වැටහීමක් නැතුවාක් සේ ගව රැළ ගෙජ්ජි නාදයෙන් උදම් වී ආඩම්බරයෙන් ඔහේ බලා සිටිති. ඇතැමෙක් පෙරදා අනුභව කළ තණකොළ වමාරා කමින් හිස සළන්නේ ගෙජ්ජි නාදයට අනුගත වී ඇතුවාක් මෙනි.
මේ ඔවුන් දීර්ඝතම තවලම් ගමන අරඹන ස්ථානයයි. එහි ලහිලහියේ තවලම් ගමනට අවශ්‍ය අඩුවැඩිය සූදානම් වෙයි. මේ තවලම් ගමන වනාහි එකළ දිවි පරදුවට තබා යා යුතු ගමනකි. දුෂ්කර හිමය හා වනදුර්ග පසු කර ගිරිහෙල් මැදින් අනේකවිද අතුරු ආන්තරා මැද අරඹන මේ ගමනේ වෙහෙස දන්නේ තවලම්කරුවන්ම පමණි. මේ තවලම්පළේ දී ඔවුහු ගොනුන් පිට අතුරන ගෝනි පිලිසකර කර අලුත්වැඩියා කරති. වෙහෙසකර ගමනට අවශ්‍ය අත්බෙහෙත්, ගුලිකල්ක, තෙල්, කුළුබඩු ආදිය පමණක් නොව පිහි, කෙටේරි, කෙවිටවල්, අත්පොරෝ, කඹ ආදී සියලු සකලමනාවම මෙහිදී සූදානම් කර ගත යුතුය.
නවීන යුගයේ දී අප්‍රමාණ ප්‍රවාහන ක්‍රම ද දියුණු භාණ්ඩ ප්‍රවාහන ක්‍රම ද බොහොමයක් ඇති අතර අතීතයේ දී භාවිතා කළ සුවිශේෂී භාණ්ඩ ප්‍රවාහන ක්‍රම වන ගැල්, පාරු, කරත්ත අතරට මෙකී තවලම් ක්‍රමය ද අයත්ව තිබුණි. තවලමේ දී ගොනුන්පිට සකසන ලද විශේෂ ගෝනි වලට බඩු භාණ්ඩ රැස් කර බැඳ බොහෝ දුෂ්කර මාර්ග ඔස්සේ ඒවා ප්‍රවාහනය කර ඇත. යටත් විජිත යුගයේ විශේෂයෙන්ම තවලම් භාවිතා කර ඇත්තේ මුහුදුකරයේ සිට එනම් හම්බන්තොට හා පුත්තලම ලුණු ලේවාවල සිට කන්ද උඩරටට ලුණු ප්‍රවාහනය කිරීම සඳහායි.
කන්ද උඩරට වැසියන්ට ලුණු ලබාදීම සඳහා මේ තවලම්කරුවෝ අනේකවිධ කරදර මැද මේ සම්ප්‍රධායික ගමනේ යෙදුනේ අභිමානයෙනි. තවලම භාර ප්‍රධාන තවලම්කරු “තවලම් රාළ” ලෙස හැඳින්වුණු අතර ඔහු මනා පරිණත අත්දැකීම් සහිත තවලම් ගමන ගැන මනා පලපුරුද්දෙන් හෙබි කෙනෙකු වීම අනිවාර්යය විය. බොහෝ තවලම්වල තවලම් රාළ හැඩිදැඩි, ආරෝහපරිණාහ දේහයකින් යුත් එඩිතර කෙනෙකු වීම සම්ප්රදායයයි. එවිට මඟ දී තවලම මුහුණ දෙන ප්‍රධානතම බාධාවක් වන මංකොල්ලකරුවන් එවැනි තවලම්කරුවෙකු සතු තවලමක් මංකොල්ලකෑමට පසුබට වේ.
තවලම් රාළ සිය සඟයින්ගේ සියලු ඕනෑඑපාකම් සොයා බලයි. ඉඳිකටුවේ සිට බුලත් කිල්ලෝටය දක්වාම අඩුපාඩුවක් නොවන ගාණට වගබලා ගනියි. තම නඩයේ පිරිසගේ එකමුතුකම, නීරෝගීබව ගැන හා වෙනත් පහසුකම් ගැන ද සොයා බලයි.
එමෙන්ම තවලමේ ප්‍රධාන අනුග්‍රාහකයින් හෙවත් දායකයින් වන සිය ගොනුන්ගේ ශක්තිය හා ආරක්ෂාව ද ආහාරපාන ගැන ද සොයා බලයි. තවලම් සඳහා යොදා ගන්නේ හොඳින් වැඩුණු, නීරෝගි, තරුණ පිරිමි සතෙකි. තවලම් ගොනුන් කීපදෙනෙකු සිටින තැනැත්තා ගමේ ඉහළ පිලිගැනීමක් සහිත වැදගත් පුද්ගලයෙකු ලෙස එකළ පිලිගනු ලැබීය. තම හරක් පට්ටියට තවලමට බැඳිය හැකි පිරිමි ගවයෙකු නැතිනම් වෙනත් පිරිමි සතෙකු මිලදි ගැනීමට පවා එකළ ගම්වාසීන් පෙළඹුණි.
තුනී සීතලෙන් හිරිගඬු පිපෙන මේ හිමිදිරියේ තවලම්කරුවන් සිය ගමන් අරඹන්නේ තවලම හිමි වංශවතාගේ හෝ ප්රභූවරයාගේ ආශිර්වාදය ද සමඟිනි. තෙරුවන් බලෙන් කිසිඳු අතුරු ආන්තරාවක් නොවී ගමන නිම කිරීමට ලැබේවා යනුවෙන් එම තවලම් හිමිකරුවෝ තවලම්කරුවන්ට ආශිර්වාද කරති.
සේපාලිකා සුවඳ මුසු වූ නැවුම් කෝපි මල් හිනාවෙන මහ පාන්දර තවලම ගමනට පිටත් වේ. තවලම ඇඟට නුහුරු ඇතැම් කෝඩුකාර ගවයෝ සුළු සුළු කලබලයන් ඇති කරති. ඒවා සමඟින් පරිණත හා කෝඩුකාර තවලම්කරුවන් එනම් ඔවුන්ගේ භාෂාවෙන් “ඇච්චන්” ද කැටුව ඔවුහු මහා වනපෙතට ඇතුලු වෙති. බොහෝ විට එම දිනයේ ගමනට අවශ්‍ය උදේ හා දවල් ආහාරය බත් මුල් ලෙස බැඳගෙන යාම සිරිතකි.
තවලම් භාෂාවට අනුව ගමන “පිටත් වෙනවා” කියනවා වෙනුවට භාවිතා කරන්නේ “ඉස්සරහා බලනවා” යනුවෙනි. මෙකී දීර්ඝ ගමනේ දී සිය අඹුදරුවන්ගෙන් සමුගන්නා තවලම්කරුවන්ට ඔවුන්ගේ පවුලේ වියදම පිරිමසා ගැනීම සඳහා ප්‍රමාණවත් යම් මුදලක් ලබා දීම මහා තවලම් රාළගේ සිරිතය. එම මුදල පිරිමසාගෙන වියපැහැදම් කරමින් සිය ස්වාමියා නැවත එනතුරු දරුවන් හා පවුල රැකබලා ගන්නේ බිරින්දෑවරුන් ය.
තවලම්කරුවන් ගම්වල මනා ගරුසරු ලැබූ වැදගත් මිනිසුන් වූ අතර ඔවුනට සිය දියණියන් දීග දෙන්නට වැඩිහිටියෝ කිසිවිටකත් අකමැති නොවූහ.
මහා දුම්බර වන පෙතට ඇතුළු වන්නට කළින් ආගම සිහි කර කොළ අත්තක් එල්ලා දෙවි රැකවරණ පතමින් ඒ මහා වනස්පතිය අතරට ඇතුළු වීම තවලම්කරුවන්ගේ සිරිතය. වනපෙත්, ගම්බිම්, කඳුශිඛර මැදින් දීර්ඝ තවලම ගමන් කරන විට ඇසෙන ගෙජ්ජි නාදයෙන් තවලමක් ගමන් කරන බව ගම්වාසීන් දැන ගනියි. මහා වනපෙතෙහි දුෂ්කර මාවත්, මංසලකුණු නිවැරදිව දැන හඳුනාගෙන නිසි මාවත ඔස්සේ රැගෙන යාම පළපුරුදු තවලම්කරුවෙකු සතු වගකීමකි. බොහෝ විට පැරණි තවලම්කරුවෝ කන්දේ බණ්ඩාර දෙවියන්ගේ පිහිට හා ආරක්ෂාව පැතූහ.
ඒ අතරමඟ දී අව්වැසි, පිණි බාධක මැදින් මේ ගමන අතරමැද ඔවුහු කුසගිනි වේලාවට මඟ නැවතී ආහාර ගනිති. ආහාර සැකසීමේ වගකීම බොහෝවිට දරන්නේ තවලමේ දෙවනියාය. ලබුකැට වලින් පුරවාගෙන ආ වතුරෙන් පිපාසය නිවාගනිති. ගොනුන් නිදහස් කර ඔවුනට ළදළු පත් බුදින්නට හා විවේක ගන්නට සලස්වති. එහෙත් නිරතුරුවම ගෙජ්ජි නාදය ගැන සැලකිලිමත් වන්නේ ඔවුනගේ ප්‍රාණසම ගොනුන්ගේ ආරක්ෂාව පිණිසය. ආහාර ගෙන මද විවේකයක් ලබා බුලත් විටකින් ද සප්පායම් වන තවලම්කරුවෝ නැවත තුරුගොමු මැද මහ වනයට වැදෙති.
මෙම සම්ප්‍රධායික තවලම් ගමන අතරතුර වන පෙතට කිසිදු හානියක් නොකිරීම ඔවුන්ගේ උතුම් කොන්දේසියක් වන අතර සොබාදම් මාතාවට අහිතර ක්‍රියාවන්ගෙන් වැළකී සිටීමට ඔවුහු නිතරම සැළකිලිමත් වූහ. ඒ වනාන්තරය හා තවලම අතර පවතින නිහඬ සම්මුතියකි.
තවලම් ගවයින්ට පාරම්පරික ඇඳුම් කට්ටලය ඇන්ඳවීම චිරාගත සම්ප්‍රධායකි. එය වතාවතක් සේ පේ වී කරන අතර සතුන් සමඟ ගනුදෙනුවක් නිසා තරමක අරගලයකි.
ප්‍රධාන තවලම්කරු විසින් සුභ මොහොතක දී සිය ප්‍රධාන ගවයාගේ පිට මත “හැඳ” නමින් හැඳින්වෙන විචිත්‍ර ආයිත්තම අතුරයි. මේ මොහොතේ දී කතා කිරීම සියලු දෙනාටම තහනම් ය. එසේ කතා කළහොත් ගවයාට බර ඇඳීමට නොහැකි වේ යැයි විස්වාසයක් පවතියි. ඉන්පසු සියලුම තවලම්කරුවෝ තම තමන්ගේ ගවයින්ට හැඳ අන්දවති. ඉන්පසු ගවයාගේ පිට දෙපසින් එල්ලා වැටෙන “වරිගෝනිය” පළඳවති. ලුණු තවලමක නම් ලුණු පටවන්නේ මේ උර දෙකටය.
අනතුරුව කරපටක් බඳු කුලච්චිය ගෙලේ බඳියි. ගවයාගේ වලිගයට යටින් නගුටු කාවල්ලිය අන්දවයි. මේ සියල්ලක්ම කරන්නේ මහා බරක් සහිතව ගිරිදුර්ග තරණය කරන තම ගවයාගේ ආරක්ෂාව වෙනුවෙනි.
තමාගේ ගවයා වෙනුවෙන් තමාගේ වටිනාම ගෙජ්ජි වැල පැළඳවීමට තවලම්කරුවෝ අමතක නොකරති. මේ ගෙජ්ජි නාදය හඳුන්වන්නේ සොකඩ හඬ ලෙසයි.
තවලම් ගමනට අත්දැකීම් සහිත ගවයෙකු යනු තවලම්කරුවන්ගේ අනර්ඝතම මිල කළ නොහැකි වස්තුවයි. එබැවින් එම ගවයා රැක ගැනීම උදෙසා ඔවුහු දිවි හිමියෙන් බැඳී සිටිති. කළුවා, බණ්ඩේ, සුද්දා, හඳයා ආදී අනේක සුන්දර නම් වලින් ඔවුන්ව ආමන්ත්‍රණය කරන්නේ සැබැවින්ම ආදරයෙනි.
මේ යන අතරතුර දී කවි සීපද ගායනා කරමින් විහිලු තහලු කරමින් ගමන් කිරීම තවලම්කරුවන්ගේ සිරිතයි. එසේ ගායනා කළ කවි තවලම් සීපද ලෙස හැඳින්වේ.
දුප්පත් කමට තවලම් බැඳ දක්කනවා
කන්ටත් නැතුව දිව රෑ දෙක වෙහෙසෙනවා
ගොන්ටත් නොයෙක් වද දී අපි ගෙනියනවා
දැන්වත් අපට දෙවියෝ පිහිටක් වෙනවා
ඒ එවැනි තවලම් සීපදයකි.
මෙසේ දීර්ඝ දුෂ්කර ගමනට පසු ඔවුහු ගමනාන්තයට පැමිණෙති. ප්‍රධාන ලේවායන් ආශ්රිත ප්‍රධාන පාරට වැටුණු විට තවලම්පලවල් වල නැවතී ඔවුහු විවේක ගනිති. ගවයන් ලෙහා දමා ආරක්ෂා සහිතව නිදහස් කරති. බත් කඩ හා තේ කඩ බහුල බැවින් ආහාර පිසීමට කරදරයක් නැත. තේ කඩවල හා බත් කඩවල සේවය සපයන තරුණ ගැටිස්සියන්ට බැල්ම දාන තරුණ තවලම්කරුවෝ අනගි හී සර පහරින් මත් වී බඩුමුට්ටු හා ලුණු ද සමඟ හිරයක් ද ගත් අවස්ථාද නැතිවා නොවේ.
මේ තවලම්පලවල් විහිලු තහලු කතා, රසවත් කතා, දෙපිට කැපෙන කතා මෙන්ම පුරසාරම් ආදියෙන් ද පිරී යයි. එමෙන්ම සුළු සුළු හා මහත් රණ්ඩුදබර ද ඇතිවන අවස්ථාවන් ද තිබී ඇත.
ඉන්පසු සුපුරුදු විවේකය නිම කර නැවත සිය අවශ්‍ය සකලමනාව තවලම් පිට පටවා ගන්නා තවලම්කරුවෝ පෙර ලෙසින්ම දෙවියන් බුදුන් වැඳ සුපුරුදු පරිදි යළි සිය දීර්ඝ සංචාරයට අවතීර්ණ වෙති.
ලුණු තවලම් නම් මහා ලුණු ලේවාය තුළ කඳු ලෙසින් ගොඩ ගැසෙන ලුණු මහා ගබඩාවට පැමිණි කළ තවලම පිට පටවා නැවත කන්දඋඩරට දක්වාම ගමන් කළ යුතුය.
හම්බන්තොට මහ ලේවායේ හා පුත්තලම ලේවායේ ස්වභාවිකවම රැස්වන ලුණු කන්දඋඩරට මිනිසුන්ගේ බත්පත වෙනුවෙන් ආවේ එලෙසය.
අද අප පැකට් පිටින් මිල දී ගෙන කිසිදු අපහසුවකින් තොරව ආහාර රසවත් කිරීම සඳහා ලුණු යොදා ගත්තත් එකල ආහාර රස කරවූ ලුණු ලැබුණේ ඒ සා විශාල දුෂ්කර අසීරු ගමනාන්තයකින් පසුවය.


