නැසී යන කර්මාන්තයකට පණ දෙන වළගම්බාහුවේ කාන්තාවෝ..

තිරප්පනේ සමන් පෙරේරා 

කොතැන විලේ දෝ එපන් තිබෙන්නේ 

නාගර පන්විල එපන් තිබෙන්නේ 

එපන් නෙලන්නට කවුදැයි එන්නේ

අඟනෝ එකතුව එතැනට එන්නේ

මෙය බාල මහලු වැඩිහිටි අපි කාටත් ඇසූ පමණින් හුරු පුරුදු පන් කවියකි. පාරම්පරික ජන කලාවක් වන පන් කර්මාන්තය අතීතයේ  සිටම කාන්තාවන්ට ම වෙන් වූ හස්ත කර්මාන්තයකි. එකී ජන කලාවක නිරත කාන්තා ලාලිත්‍ය යෙන් විචිත්‍රවත් පන් රටා මවන අපේ ම ලදුන් පිරිසක් ගැන තිරප්පනේ වළගම්බාහුව ප්‍රදේශයෙන් අපට වාර්තා විය. 

සිය පවුලේ ආර්ථිකයට ශක්තියක් වන මේ කාන්තාවන් පන් කර්මාන්තයට යොමු කරවා ඇත්තේ වළගම්බාහුව වසම භාර ග්‍රාම නිලධාරීතුමියයි. නමින් ජේ. දමයන්ති වන ඇය පළමුවෙන් ම අප සමඟ කතා බහට එක් වූවා ය.

 “වසමේ අඩු ආදායම්ලාභී කාන්තාවන් වෙනුවෙන් ව්‍යවසාය සංවර්ධන වැඩ සටහනක් ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා මම අධ්‍යයනය කළා. එතැන දී මට සැප් ශ්‍රී  ලංකා ආයතනයේ  පටුන කුමාර මහතා මුණ ගැහුණා. ගමේ සුලභව ඇති සම්පතක් උපයෝගි කරගෙන පටන්ගමු කියා යෝජනා කර ගත්තා. ඒ අනුව අපේ ගමේ ස්වාභාවික සම්පතක් ලෙස වැවෙන පන් හඳුනා ගත්තා. ගමේ වෙල් යාය වැව් පිටියේ ඕන තරම් පන් තියෙනවා. ඒ අනුව අපි ශක්ති නමින් ග්‍රාමීය සංවිධානයකුත් පිහිටුවා ගත්තා. පස්සේ සැප් ශ්‍රී ලංකා  අනුග්‍රහයෙන් ජාතික ශිල්ප සභාවේ සම්පත්දායකයින් ගෙන්වා නොමිලේ ම පුහුණු වැඩමුළුවක් සංවිධානය කළා. පුහුණුවේ දී දුන්න උපදෙස් අනුව සති දෙකකින් වියලා පෙන්වන්න අපිට නිර්මාණ ටිකක් දුන්නා. අපේ කාන්තාවෝ ඒක සතියෙන් කළා. වැඩේ ඉක්මනින් ම අල්ලා ගත්තා. මොකද පාරම්පරිකව පැවත එන ආභාසයකුත් තියෙන නිසා.”

මෙලෙස යටපත් වී තිබූ පන් නිර්මාණ කර්මාන්තයට යළි ජීවයක් ලබාදීමට එම පුහුණු වැඩමුළුව මෙම කාන්තාවන්ට පිටිවහලක් වී ඇත. එතැනින් නතර නොවුණු ඔවුන් තවත් පුහුණු සැසිවලට ද සහභාගි වී දැනුම අලුත් කර නව නිර්මාණ බිහිකිරීමට ද සමත් වී ඇත. ඒ ඔවුන් තුළ යටපත් වී තිබූ කුසලතාවන් ඔප්නංවමිනි.

ඒ පිළිබඳ ජේ. දමයන්ති ග්‍රාමනිලධාරි තුමිය වැඩිදුරටත් මෙසේ ද කීවා ය. 

“තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තියෙනවා කුඩා කර්මාන්ත අංශය. ඒ සඳහා මේ කාන්තාවන් ටික යොමු කළා. එහිදී අපේ කාන්තාවන්  අභිප්‍රේරණය කිරීම සඳහා කුඩා කර්මාන්ත අංශයේ සංවිධානයෙන් තවත් පුහුණු වැඩසටහනක් කළා. එයත් ඔවුන් සාර්ථකව නිම කළා. පස්සේ ජාතික ශිල්ප සභාවේ ” ශක්ති ශිල්ප සමාජය” යනුවෙන් අපි අපේ සමිතිය ලියාපදිංචි කළා. අපේ කාන්තාවන් නිර්මාණය කර අලෙවි කරන පන් ආශ්‍රිත නිෂ්පාදන වලින් පවුලේ ආර්ථිකයට ශක්තියක් ලබාදීම සඳහා යම් මුදලක් ඉතිරි කළ යුතුයි කියලා යෝජනා වුණා. ඒ අනුව රාජ්‍ය බැංකුවක ගිණුමක් විවෘත කළා. අලෙවි කරන සෑම භාණ්ඩයකින් ම රුපියල් 50.00  එම ගිණුමේ තැන්පත් කරන්න ඕනේ. මේ අය ඒක සතුටින් කරගෙන  යනවා”. යැයි කීවා ය.

වසම භාර ග්‍රාම නිලධාරීතුමියගේ සංකල්පයකට අනුව ආරම්භ වූ වළගම්බාහුව ශක්ති ශිල්ප සමාජයේ මේ වනවිට කාන්තාවන් 20 දෙනෙකු පමණ සාමාජිකත්වය ලබා ඇත. මේ කාන්තාවන්ට අද නායකත්වය ලබා දෙන්නේ ප්‍රදේශයේ පාසල් ක්‍රීඩාකරුවරියක ය. නමින් කළ්‍යාණි අබේකෝන් වන  ඇය ගුරුවරියක ලෙසද සිය රාජකාරී ඉටුකර ගම්මානයේ කාන්තාවන්ට ආර්ථිකමය වශයෙන් ශක්තියක් එක් කිරීමට  උත්සාහවන්ත වීම අගය කළ යුතු ය. අපේ රටට සම්පතක් වූ බිඳ වැටී යන පන් කර්මාන්තයට නිහඩව පණ පොවන එවන් වනිතාවන් සැබවින්ම අගය කළ යුතු ය.

කළ්‍යාණි අබේකෝන් මහත්මිය අප සමඟ කතාබහට එක් වූයේ මෙලෙසිනි.

“අපේ කණ්ඩායම ඇතුලේ ඉන්නවා රැකියා කරන අය. රැකියා කරලා විශ්‍රාම ගිය අය. රැකියා කරන අය අද පන් නිර්මාණ කරලා අතිරේක ආදායමක් උපයා ගන්නවා. විශේෂයෙන් මං ගත්තොත් මම මගේ විනෝදාංශය තමා පන් විවීම. ඒකට දැන් තව පොඩි වටිනාකමකුත් ආවා. මම ක්‍රීඩා ගුරුවරියක්. මං හරි අවිවේකීයි. මොකද හවස ක්‍රීඩා දරුවන් පුහුණුවීමත් කරන්න ඕනේ. තරඟ වලට ළමයි ගෙනියන්න ඕනේ. මේක කරන්නත් ඕනේ.ඉතිං මම පන් වියන්න යොදාගන්නේ රාත්‍රී කාලයේ දී.  උයලා තියලා ඉවර වෙලා මං මේ පැදුරු මේ නිර්මාණ කරනවා. මේකෙන් මං ලොකු ආදායමක් ගන්නවා.”

කාලයෙන් කාලයට ලාංකීය වෙළඳපලට නව නිෂ්පාදන එළි දකී. එහෙත් ඇතැම් ඒවා මනුෂ්‍ය භාවිතාවට හා පරිසරයට කෙතරම් හිතකර ද යන ගැටලු පැණ නගී. 

කළ්‍යාණි අබේකෝන් මහත්මිය ඇතුළු මෙම පන් කර්මාන්තයේ නිරත කාන්තාවෝ ද අලුත් අලුත් නිර්මාණ සිදු කිරීමට ඉතා දක්ෂයෝ ය. කාලීන වශයෙන් පාරිභෝගිකයන් හට අවශ්‍ය පන් ආශ්‍රිත නිර්මාණ ද ඔවුහු නිපදවති.. ඒ අතරින් වතුර බෝතල් සඳහා පන්වලින් නිර්මාණය කරන පරිසර හිතකාමී ආවරණ මල්ල මේ දිනවල පාසල් සිසුන්, ගුරුභවතුන් හා කාර්යාල නිලධාරීන් අතර වැඩිපුර  කතාබහට ලක් වී ඇත.

ඒ පිළිබඳ කළ්‍යාණි මහත්මිය මෙසේ විස්තර කළා ය.

“ගොඩක් පාසල් ළමයි ප්ලාස්ටික් බෝතල්වල තමා වතුර අරගෙන යන්නේ.නමුත් ප්ලාස්ටික්වල දාලා වතුර බොන එක හොඳ නෑ කියලා වෛද්‍යවරු කියනවා. ඒ නිසා දැන් ළමයි වීදුරු බෝතල් අරගෙන යන්න විශේෂයෙන් ගුරුභවතුන් කාර්යාල නිලධාරීන් පුරුදු වෙලා. ඉතිං ඒකට වෙළෙඳපළේ අපි දැක්කා විවිධ බෝතල් ආවරණ මලු හදලා තියෙනවා. අපි මේ ගැන හිතලා පරිසර හිතකාමී ලෙස පන්වලින් බෝතල් ආවරණ මල්ලක් නිර්මාණය කළා. දවල් වෙද්දී වතුර රත්වෙනවා නම් පන් මල්ල පිටින් ම වතුර භාජනයක ගිල්වලා ගත්තාම ආයේ සීතල වතුර උගුරක් බොන්න පුළුවන්. අවශ්‍ය නම් කවුරුහරි ඉල්ලුවොත් අපිට දෙන ඕනෑම හැඩයක බෝතලයකට වුණත්  අපිට මේක වියලා දෙනවා. පාසල් දරුවන්ට දැන් පොත් මල්ල බර අඩු කරන්න යනවනේ. අතිං එල්ලගෙන අරගෙන යන්න පුළුවන් බෝතල්වලට  පාසල්වල ලොකු ඉල්ලුමක් තියෙනවා. ආචාර්ය මණ්ඩලයේ අය ඔෆිස්වල ලොකු ඉල්ලුමක් තියෙනවා.

ගාන තෙල් සඳුන් වරලස ඔමරි කොට

මූණ පුරා තෙල් ගා ගෙන යන කලට

මාන බලති මෙනුවන් පන් තිබෙන කොට

නෑනෝ නුඹත් එනවද පන් නෙලන්නට

පන් ආශ්‍රිත කර්මාන්තයේ යෙදෙන අතීත ජන කවිය පන් නෙලන ළඳුන් පිළිබඳව බොහෝ දේ කියාපායි. අතීතයේ මෙන් ම වර්තමානයේ ද මේ පන් නෙලීම විනෝදාස්වාදයක් ගෙන දෙන්නක් බව වළගම්බාහුව පන් නෙලන්නෝ සතුටු සිතින්  අපට කීහ. 

කේ. මල්ලිකා මහත්මිය ඒ පිළිබඳ මෙසේ කීවා ය.

“අපේ ගමේ වෙල්යායේ ඕන තරම් පන් වර්ග තියෙනවා. අපිට ඒක ඇත්තටම සම්පතක්. ඉතින් අපි කට්ටිය එකතුවෙලා ගිහින් පන් නෙලනවා. ඒක හරිම විනෝදජනකයි. පන් කපාගෙන ඇවිත් අව්වේ දාල වේලලා තමයි අපි වියන්න පහසු විදියට හදාගන්නේ. පස්සේ විචිත්‍රවත් රටා දාන්න අපි පන් ගහට සායම් පොවනවා. වර්ණවත් පන් අරගෙන ලස්සන ලස්සන නිර්මාණ දැන් අපි කරනවා. එහෙම නිර්මාණයක් කරලා දකිද්දි හරිම සතුටක් හිතට දැනෙන්නේ. කෙනෙකුට මේක දැක්කහම සතුටක් එන බව ඇත්ත. ඒත් ඒ සතුට ලබා දෙන්න අපි ලොකු දුකක් විඳිනවා. විශාල මහන්සියක් වෙනවා ඒ නිර්මාණ කරන්න. ඉතින් අපි ඉල්ලීම් කරන්නේ අපේ මේ නිෂ්පාදන සාධාරණ මිලකට අලෙවි කරගන්න පුළුවන් විදිහේ අලෙවි මධ්‍යස්ථානයක් අපිට ලබා දෙන්න කියලා.”

ප්‍රියංගිකා ජයසේන මහත්මිය ද දැන් පන් කර්මාන්තයේ සතුටින් නිරත කාන්තාවකි. ඇගේ හඬ මෙසේ අවදි කළා ය.

“අපේ ගෙවල්වල දැන් හැමෝම මේ කර්මාන්තයට සම්බන්ධ වෙනවා. එයාලා හරිම ආසාවෙන් තමයි මේ වැඩ කටයුතු කරන්නේ. දුවලා පුතාලාත් නිකං ඉන්න වෙලාවට නිකරුණේ  කාලය වැය කරන්නේ නැතිව අපි හැමෝම එක එක නිර්මාණ කරනවා. දරුවන්ට වුණත් විවේකය අර්ථවත්ව ගත කරන්න පුළුවන් හොඳ කලාවක් කියලා මට හිතෙනවා මේ පන් කර්මාන්තය.  දැන් පවුලේ හැමෝම ආර්ථිකයට පුලු පුලුවන් විදියට ශක්තියක් වෙනවා”

අනුලා සේනාරත්න තම ස්වාමියා රෝගාතුරවීමෙන් පසු ජීවන බර කරට ගත් කාන්තාවකි. දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා ද අධික වියදමක් ඇයට දැරීමට සිදුව ඇත. කිරි හරක් දෙන්නෙක් ඇති කරන අතරතුර ඇය මෙම පන් කර්මාන්තයට ද සම්බන්ධ වීමෙන් ආර්ථිකයට  විශාල පිටිවහලක් ලැබී ඇති බව අප සමග මෙසේ කීවාය.

“මගේ මහත්තයත් දැන් විශ්‍රාම ගිහින් අංශභාගය හැදිලා ගෙදරට වෙලා රෝගාතුරව එකතැන්ව  ඉන්නේ. නමුත් එයා පුළුවන් විදියට මටත් උදව් කරනවා. ඉතින් මම තමයි දැන් ගොඩක් දුරට පවුල නඩත්තු කරගෙන යන්නේ. කිරි හරක් දෙන්නෙක් තුන්දෙනෙකුත් ඇති කරගෙන යනවා. ඒ අතරේ තමයි මේ පන් කර්මාන්තයේත් අපි නිරත වෙන්නේ.ඒ අලෙවියනුත් අපිට ලොකු ආර්ථික ශක්තියක් ලැබෙනවා. අපේ පන් නිර්මාණ හොඳ නිමාවක් තියනවා කියලා හැමෝම කියනවා. එනිසා වෙළඳපළේ වුණත් හොඳ ඉල්ලුමක් තියෙනවා. අපිට මේක තවදුරටත් දියුණු කරගන්න රජයෙන් හෝ කවුරුහරි අතහිත දෙනවනම් ඒක ලොකු පිනක්.”

චන්ද්‍රිකා රාජපක්ෂ වළගම්බාහු ගම්මානයේ පදිංචි වැන්දඹු කාන්තාවකි. ඇගේ පවුලේ ආර්ථික අගහිඟකම්වලින් එමට ය. ඒවා සුළුවෙන් හෝ සමනය කර ගැනීමට පන් විවීම දායක වී ඇතැයි ඇය කියන්නීය.

“මම කලින් කුලී වැඩ කරලා තමයි ජීවත් වුණේ. ගමේ ග්‍රාමසේවක මිස් මට කතා කරලා කිව්වා ඔයාට පන් වියන්න පුළුවන්නෙ. ඒක නිසා නැවත පන් වියන්න පටන් ගමු  අපි උදව් කරන්නම් කිව්වා. පස්සේ තමයි එතුමිය සම්බන්ධ කරලා අපිට දවස් තුනක පුහුණුවක් දුන්නේ. ඒකෙන් පස්සෙ හරි ආස හිතුනා. දැන් මම මේ පන් පැදුරු, වට්ටි, පෙට්ටි, වියන එක තමයි මගේ රැකියාව. එදිනෙදා ජීවත් වෙන්න අවශ්‍ය කරන බඩුමුට්ටු ටික ගන්නෙ මේකෙන් ලැබෙන මුදලින්. මම වැන්දඹු කාන්තාවක් නිසා ඒ ලැබෙන මුදලින් මම ජීවත්වෙනවා මගේ දෑතින් කීයක් හරි හොයාගෙන. කාටවත් අත නොපා.”

ධනුෂිකා සර්දාසේන ගමේ දිරිය පවුලක දිරිය දියණියකි. ඇයද මේ වන විට සිය මෑණියන්ගේ අඩි පාරේ යමින් පන් විවීම විනෝදාංශයක් සේම ආදායම් මාර්ගයක් බවට පත් කරගෙන තිබේ. ඒ පිළිබඳ ඇගේ අත්දැකීම් අපට කීවේ මෙලෙසිනි.

“ඇත්තට ම මේ වගේ නිර්මාණ කරද්දි හිතට පුදුම සතුටක් දැනෙනවා. අම්මා තමයි මට මේ හැමදේම කියලා දෙන්නේ. ඉතිං මමත් පුළුවන් හැම වෙලාවක දී ම මම පන් වියමින් අම්මට උදව් කරනවා. ඒ වගේ ම පවුලේ එදිනෙදා වියදම් කරන්න මට පුලුවන් විදිහට දායක වෙනවා. අපි හැමෝම මේ වගේ පුළුවන් ක්ෂේත්‍රයක් ඔස්සේ රටේ ආර්ථිකයට දායක වෙන්න පුලුවන් නම් ඒක මේ වෙලාවේ රටට වටිනවා. අපේ කණ්ඩාමේ මීළඟ බලාපොරොත්තුව ඔන්ලයින් ක්‍රමයට අපේ මේ නිර්මාණ විදෙස් රටවලට යවන එක.ඒ සඳහ අපේ කණ්ඩායම් නායිකා කළ්‍යාණි මිස් ලොකු වැඩ කොටසක් කරගෙන යනවා. අපි හිතනවා ඒ උත්සාහය සාර්ථක වුණොත් රටට ඩොලර් උපයන හොඳ කර්මාන්තයක් බවට අපෙන් ඈත් වෙලා යන මේ පන් කර්මාන්තයක් බවට පත් කරන්න අපිට පුළුවන්.”

වළගම්බාහුව නම් ඒ සුන්දර ගම්මානයෙන් පිටත් වීමට ආසන්න වූ මොහොතේ එම ළඳුන් පිරිස හරි අපූරු ඉල්ලීමක් ලාංකීය කාන්තාවන් වෙනුවෙන් කියා සිටියෝ ය. එනම් මේ ලංකාව පුරාම තමන්ගේ කාලය නිකරුණේ වැය කරන, කිසිම වැඩක් නැතැයි , රැකියාවක් නැතැයි කියා සුසුම් හෙළමින් නොඉඳ තමන් ළඟ හෝ  ගමේ තිබෙන සීමිත සම්පත් හෝ ප්‍රයෝජනයට ගෙන අසීමිත අවශ්‍යතා ඉටු කර ගැනීමට වෙහෙස මහන්සි වී මෙවැනි නිෂ්පාදනයක් හෝ කරන්නැයි ඉල්ලීමක් කළෝය..

දෑතේ සවියෙන් අපූරු පන් රටා මවන මේ ලදුන් අපට ආඩම්බරයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *