ජනපතිට එරෙහිව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක්

චම්පිකා මුතුකුඩ

පසුගිය මාර්තු මස 31 වෙනිදා ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැලිගම ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින්ම ඊයේ (02) මැතිවරණ කොම්ෂන් සභාවට පැමිණිල්ලක් භාර දී ඇත.

ජනාධිපතිවරයා වැලිගම මැතිවරණ ප්‍රචාරක රැලිය අමතමින් කළ කතාවේදී මධ්‍යම රජයෙන් ප්‍රතිපාදන එවනු ලබන්නේ වංචා නොකරන, දූෂණය නොකරන කණ්ඩායම් ජයග්‍රහණය කරන ප්‍රාදේශීය සභාවලට පමණක් බව ප්‍රකාශ කළේය., එවැනි කණ්ඩායම් ඇත්තේ එකක් පමණක් බවත් එය ජාතික ජන බලවේග කණ්ඩායම පමණක් බවත් ජනපතිවරයා කීය.එම ප්‍රකාශය රටේ විධායක ජනාධිපතිවරයා විසින් ඍජුව ම තම බලය පාවිච්චි කරමින්, මධ්‍යම රජයේ අනුග්‍රහය ලබා දෙන්නේ තම කණ්ඩායම ජයග්‍රහණය කරන පළාත් පාලන ආයතන වලට පමණක් බව අවධාරණය කරමින් ඡන්දයට බලපෑම් කිරීමක් ලෙස එක්සත් ජනරජ පෙරමුණ පෙන්වා දෙයි.

පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු පිළිබඳ තීරණ ගන්නේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය හා අදාල පළාත් සභාවලට අනුයුක්ත නිලධාරීන් විසින් බවත්, මෙයින් වක්‍රව  දූෂිත වලල්ලට තම ආණ්ඩුව යටතේ සේවය කරන නිලධාරීන්ද ජනාධිපතිවරයා විසින් එක් කොට ඇති බව එම ලිපිය  මගින් අවධානයට ලක් කොට ඇත.  අනාගතයේ දී මන්ත්‍රීවරුන් වන ජාතික ජන බලවේගයේ නොවන පුද්ගලයින් කිසිදු විභාගයකින් තොරව රටේ ජනාධිපති විසින් දූෂිතයන් ලෙස නම් කිරීම ඔවුනට කරනු ලබන අගතියක් බවත්, පක්ෂ නායකයෙකු වශයෙන් ජනාධිපතිවරයා විසින් මෙවැනි ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් ස්වාධීන මැතිවරණ කොමිසමේ ප්‍රතිපාදන ප්‍රකාරව ක්‍රියා කරන ලෙසත්, එම ලිපිය මගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඉහත කාරණය සම්බන්ධයෙන් ඉතාම උනන්දුවෙන් කරුණු සොයා බලා, එළඹෙන පළාත් පාලන මැතිවරණය අපක්ෂපාතී සහ නිදහස් මැතිවරණයක් බවට පත් කර ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ඉහත කාරණය සම්බන්ධයෙන් ඉතාම උනන්දුවෙන් කරුණු සොයා බලන ලෙස ද එක්සත් ජනරජ පෙරමුණ මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *