මැතිවරණ ආරවුල් කළමනාකරණයට උතුරු මැද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දැනුවත් කෙරේ.

තිරප්පනේ සමන් පෙරේරා  

එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාලව , මැතිවරණ ආරවුල් කළමණාකරණය කිරීම පිලිබඳව උතුරු මැද පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දැනුවත් කිරිමේ පුහුණු වැඩසටහනක් ඉකුත් දා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දි පැවැත්විණී.

මෙහිදී පළාත් පාලන ඡන්ද විමසීම මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ ක්‍රියාත්මක වන අන්දම, මැතිවරණ නීතිය, පොලිස් නිලධාරීන් ඡන්ද පොළ රාජකාරිවල නිරතවීම, ජංගම සංචාර, කැරළි මර්ධන රාජකාරී, මාර්ග බාධක වල රාජකාරී කිරීම යනාදී මැතිවරණයේ දී පොලීසියට පැවරෙන රාජාකාරී පිලිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණ.

වෙනත් මැතිවරණවලට සාපේක්ෂව පළාත් පාලන මැතිවරණක් යනු ඉතා සංකිර්ණ ක්‍රියාවලියක් බවත්, ඡන්ද පත්‍රිකා වර්ග සංඛ්‍යාව, ගණන් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව, නියෝජිතයින් තෝරා ගන්නා ආකාරය ආදි හේතු ගණනාවක් නිසා එම සංකිර්ණතාවය මතුවන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල්  සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

පළාත් පාලන ඡන්ද විමසීමක දී පවතින වර්තමාන ස්වභාවය පිලිබඳව ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කරන ලදී.

පළාත් පාලන ආයතන 339 ක් සඳහා මෙම මැතිවරණය පැවැත් වෙන අතර ඒ වෙනුවෙන් කණ්ඩායම් 3160 ක් ඇප තැන්පත් කර තිබූ බවත් , එයින් කණ්ඩායම් 2922 ක් නාමයෝජනා භාර දුන් බවත්, ඒ මහතා සඳහන් කළේ ය.

මෙම මැතිවරණයේ දී ආසන්න වශයෙන් සභිකයින් 8500 ක් පමණ තෝරා ගැනීමට නියමිතව තිබේ. මෙහිදී මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ, ප්‍රාදේශිය සභා කොට්ඨාස කිහිපයකට බෙදිමක් සිදු වන අතර  සභිකයින් තෝරාපත්කර ගැනීමේ දී ඡන්දයෙන් 60% ක පිරිසක් තෝරාගනී. ඉතිරි 40% ලැයිස්තුවෙන් කරන තෝරාගැනීම සිදුවීම මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමයේ ස්වභාවය බවද පොලිස් නිලධාරීන් ඇමතු මැතිවරණ කොමසාරිස්වරයා කීය.

මේ අනුව සෑම කොට්ඨාසයකට ම වග කියන නියෝජිතයකු පත්කර ගැනීම ද පදනම් කරගෙන මෙම ක්‍රමය ක්‍රියාත්මක කෙරෙන අතර කාන්තා හා තරුණ නියෝජනය ද මෙහිදී විශේෂ වන බව සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම මැතිවරණයේ දී ඡන්ද මධ්‍යස්ථාන 14000 ක් පමණ පවතින අතර ඡන්ද ගණන් කිරීම එම ඡන්ද මධ්‍යස්ථාන වල දීම සිදුකිරිමට නියමිතව ඇත.

මෙම පුහුණු වැඩසටහනේ දී අදහස් දැක්වමින් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා සඳහන් කළේ , පසුගිය මැතිවරණ දෙක තුල දී පොලීසයෙන් ලැබුණු සහය ඉතා අගය කරන බවත්, එමෙන්ම මෙම පළාත් පාලන මැතිවරණය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කරන බවයි. ගැටුම්කාරී තත්ත්වයන් ඇතිවීම වලක්වා ගැනීම සඳහා පෙර සේම පොලීසියේ සහය බලාපොරොත්තු වන බව ද ඒ මහතා පොලිස් ප්‍රධානීන් ඉදිරියේ සඳහන් කළේ ය. 

පුහුණු වැඩසටහන සඳහා සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ පොලිස්පතිවරයා සඳහන් කළේ , මනා සම්බන්ධිකරණයකින් යුතුව කටයුතු කරමින් සාර්ථකව මැතිවරණය පැවැත්වීම සදහා පොලීසියේ සහය ලබාදීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවයි. 

නීති කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර මහතා පළාත් පාලන ඡන්ද විමසිම් ආඥා පනත ප්‍රකාරව මැතිවරණ නීතිය පිළිබඳව දැනුවත් කිරීම සිදුකළහ.මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අචාර්ය දිනේෂ් කරුණානායක මහතා ද මෙහි දි අදහස් දැක්වි ය.

මෙම අවස්ථාව සඳහා අතිරේක මැතිවරණ කොමසාරිස් චින්තක කුලරත්න, අනුරාධපුර සහකාර මැතිවරණ කෙමසාරිස් එන්.පී.පී.අයි.ආර්. ගුණරත්න ,  උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන, උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අයි.බී.ටි.සුගතපාල, අනුරාධුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ, පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් සිල්වා, කැබිතිගොල්ලෑව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චින්තක ආර්. පීරිස් , පොලිස් මූලස්ථානයේ මැතිවරණ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *