අළුත්දිවුල්වැව  වැව් බැම්ම ප්‍රතිසංස්කරණය නොකිරීමෙන් ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවයක

තිරප්පනේ සමන් පෙරේරා  

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලුත් දිවුල්වැව පසුගිය ජනවාරි මස 09 දින වැවෙහි දකුණු  සොරොව්ව අසළ ඇති වූ උමයක්  හේතුවෙන් එම වැවෙහි ජල කාන්දුවක් මතුව තිබුණි. මේ නිසා සොරොව්ව අසළ  වැව් බැම්ම ගිලා බැසීම හේතුවෙන් එම වැව් බැම්ම දැඩිලෙස අවදානම් තත්වයක් මතුව තිබුණා. 

එම නිසා මෙම අවදානම් තත්වය මගහැරගැනීම සදහා යුධ හමුදාව,පොලිසිය,වාරිමාර්ග නිළධාරින් සහ ප්‍රදේශයේ ජනතාව මහත් පරිශ්‍රමයක් දරා මෙම වැවෙහි වැව් බැම්ම ආරක්ෂා කරගැනීම සදහා වැලිකොට්ට ආදිය දමා වැව් බැම්ම ආරක්ෂා කරගැනීමට කටයුතු කෙරිණ.

නමුත් මෙම සිදුවීම සිදුවී මේ වන විට මාස 3 ක පමණ ආසන්න කාලයක් ගතවී ඇතත් තවමත් මෙම වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කර නොමැති බව ප්‍රදේශයේ ජනතාව පවසයි. පසුගිය ජනවාරි මස 09 දින මෙම දිවුල්වැව වැවෙහි වැඩි ජලධාරීතාව ඉවත් කරගැනීම සඳහා වැව් බැම්ම හරහා ඇල මාර්ගයක් කපා ජලය පිටතට යවා දැමීමට ද බලධාරීන් කටයුතු කෙරිණ. 

එමෙන් ම වැවෙහි පිටවාන හා වැවෙහි වාන් පද්ධතිය ආසන්නයෙන් කඩා දමා වැවෙහි වැඩි ජලය පිටතට යැවීමට  කටයුතු කළත් වැවෙහි මෙම කොටස්  කපා, කඩා දැමීම  ඉතාමත්ම අවිධිමත් බව ජනතාව පවසයි.   මේ නිසා මෙම වැවෙහි  ධීවර කර්මාන්තය සිදුකරගෙන යාමේදී දැඩිලෙස අපහසුතාවයට පත්ව ඇති බව ද ධීවර ජනතාව පැවසීය.

මෙම වැවෙහි පිටවාන ආසන්නයෙන් කපා දැමීම හේතුවෙන් මේ වන විට ඒ ආසන්නයෙන් ගමන් කිරීමේදී දැඩිලෙස අපහසුතාවයට පත්ව ඇති බව ද ප්‍රදේශවාසීහූ පවසති. 

මේ නිසා ප්‍රදේශයේ ජනතාව තාවකාලික විසදුමක් ලෙස ලීවලින් සාදාගත් අනාරක්ෂිත පාලමක් මතින් ගමන් කිරීමට සිදුව ඇති බව ද ජනතාව අවධාරණය කරයි.දිනපතාම මෙම පාලම මතින් පාසල් ළමුන් මෙන්ම වෙනත් කටයුතු සදහා ප්‍රධාන මාර්ගයට ප්‍රවේශවීම සඳහා මෙම පාලම මතින් බව ජනතාව කියයි.

එම නිසා මෙම ප්‍රදේශයේ ජනතාව බලධාරීන් ඉල්ලා සිටින්නේ කඩිනමින් මෙම වැව ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසයි.

මේ සම්බන්ධයෙන් අප ගලෙන්බිඳුණුවැව  ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු දසුන් තිලකරත්න මහතාගෙන් විමසූවිට ඔහු සඳහන් කළේ කඩිනමින් මෙම වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කරන බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *