සංජීවනී පද්මසේන

මේ දිනවල ලෝකවාසී සියලු දෙනාගේ මුවඟ රැව්දෙන්නේත්, නෙතඟ කඳුළු පුරවන්නේත් එකම මාතෘකාවකි. එනම් මියන්මාර් මහා ඛේදවාචකය වූ අතිවිශාල පිරිසකට දිවි අහිමි කළ භූමිකම්පාවයි. තවමත් නිශ්චිතව ගණනය කළ නොහැකි තරම් ජීවිත හානි විශාල ප්‍රමාණයක් ද, දේපල හානි ප්‍රමාණයක් ද සහිත මේ භූමිකම්පාව නිසා මානව හදවත්වලට දැනුණු කම්පාව නැති වෙන්නට නම් තව බොහෝ කාලයක් ගතවනු ඇත.
ඇත්ත වශයෙන්ම භූමිකම්පාවක් යනු කුමක් ද? පෘතුවි කබොල සෙලවීම භූ චලන යනුවෙන් ද විශාල භූ චලනයක් භූමිකම්පාවක් නමින් ද හඳුන්වා දිය හැකි නමුත් භූමි කම්පාවක යාන්ත්‍රණය බොහෝ සංකීර්ණය.
අප ජීවත්වන පෘතුවි අභ්‍යන්තරය සකස් වී ඇත්තේ ස්ථර කීපයකිනි. පෘතුවි මතුපිට තලය පෘතුවි කබොල හෙවත් ශිලා ගෝලය යනුවෙන් ද ඊට යටින් ඇති කලාපය ප්රාවරණය යනුවෙන් ද හඳුන්වයි. මෙම ප්රාවරණ කලාපයේ අධිකව ලවණ සගරයක් නිර්මාණය වී ඇත. පෘතුවි කබොල නිර්මාණය වී ඇත්තේ පාෂාණ තැටි හෙවත් භූ තැටි වලිනි. මෙම භූ තැටි ප්රාවරණ කලාප මත පාවෙමින් පවතියි.
සාමාන්‍යයෙන් මෙම භූ තැටි විවිධාකාර දිශා වලට පාවෙයි. එසේ පාවෙන පාෂාණ තැටි දෙකක් එකිනෙක මත ගැටී ලිස්සා යාමේදී මුදාහරින ශක්තිය භූමිකම්පාවක් ලෙස හඳුන්වයි. මෙම තැටි මායිම්වලදී නිතර ගැටීම් ඇතිවන හෙයින් ප්‍රබල භූමිකම්පා සිදුවන්නේ තැටි මායිම් ආශ්‍රිතවයි.
මෙම භූ තැටි ගැටීම පොළොව මතුපිට සිට කිලෝමීටර් 15 සිට 20ක් පමණ ඇතුළත සිදු වූවත් සමහර විට කිලෝමීටර් 100 සිට 200ක් පමණ අභ්යන්තරයකදීද සිදුවිය හැක. මෙම තැටි එකිනෙක ගැටීම සිදුවන ස්ථානය නාභිය හෙවත් කේන්ද්‍රය( focus ) ලෙස හඳුන්වන අතර නාභියට ඉහළින් සිරස්ව භූ තලය මත ඇති ස්ථානය අපිකේන්ද්‍රය හෙවත් අපිනාභිය ලෙස හඳුන්වයි.
භූමිකම්පාවක් සිදුවීමේ දී ඇතිවන වේගවත්ම තරංගය ප්‍රාථමික තරංගය ලෙස හඳුන්වන අතර මෙම තරංග වලට ඕනෑම ඝන, ද්‍රව හෝ වායු ස්ථරයක් මතින් ඉහළට ගමන් කිරීමේ හැකියාව පවතියි.
ප්‍රාථමික තරංග ඇති වූ පසු එයට වඩා වේගයෙන් අඩු ද්වීතික තරංග ඇතිවන අතර මේවා ගමන් කරන්නේ ඝන ස්ථර ඔස්සේ පමණි. මෙම තරංගවල ස්වභාවය තදින් අදින ලද කඹයක් සෙළවීමේ දී ඇතිවන තරංගවල ස්වභාවයට සමාන වේ.
මෙම ප්‍රාථමික හා ද්වීතික තරංග නාභිය හා අපිනාභිය ඔස්සේ භූ තලය මතට ළඟා වී වෘත්තාකාරව කිලෝමීටර් ගණනාවක් දුරට ගමන් කරයි. මෙලෙස පොළොව මතුපිට ගමන් කරන තරංග නිශ්චල ජලය මත ගලක් දැමූ විට ඇතිවන තරංගවල ස්වභාවය ගනියි. මෙලෙස පොළොව මත පැතිරෙන තරංග හඳුන්වන්නේ දිගු තරංග ලෙසිනි. මෙම තරංග පොළොව මත ගමන් කිරීමේ දී පෘතුවි භූ තලය මත පවතින ගොඩනැගිලි හා ව්‍යුහයන් දෙපසට සෙලවී යාම සිදුවේ. දිගු තරංගවල බලපෑම අපිනාභී කේන්ද්‍රය ආශ්රිත ප්‍රදේශයේ ප්‍රබල අතර ඉන් සිදුවන විනාශය අතිමහත් ය.
මෙම භූමිකම්පා නිසා අතිවිශාල විනාශයන් සිදුවේ. භූමියේ චලනයන් ඇතිවන අතර භෞමික ඉරිතැලීම් මෙහි ප්‍රධාන ලක්ෂණයකි. භූමි කම්පාවේ ප්‍රබලතාවය ඇති වූ ස්ථානයේ සිට ඇති වූ පසේ ස්වභාවය අනුවත් වෙනස් විය හැක.
මෙහි ප්‍රධානතම බලපෑම වන්නේ විශාල මිනිස් ජීවිත සංඛ්‍යාවක් විනාශ වීමයි. භූ තලය සෙලවීම හේතුවෙන් ගොඩනැගිලි හා මතුපිට ඝන වස්තු විනාශ වී සුන්බුන්වලට යට වීමෙන් මිනිස් ජීවිත අහිමි වී යයි. තව ද මේ සමඟම ගිනිගැනීම්, විදුලි කාන්දුවීම්, ගෑස් හා තෙල් නල පිපිරීම් ආදියෙන් මිනිස් ජීවිත විනාශ වීම සිදුවේ. ඇළවේලි, පාලම්, ගොඩනැගිලි, දුම්රිය මාර්ග විනාශ වේ. ගණනය කළ නොහැකි තරමට දේපල හා වස්තු විනාශයක් සිදුවේ.
එමෙන්ම අති ප්‍රබල කම්පාවන්හිදී භූමියේ දිගු පැලීම් හා ගිලාබැසීම් ඇතිවේ. ගොඩනැගිලි, නිවාස හා මාර්ග ගිලාබැසීමට ලක්වේ.
කඳුකර ප්‍රදේශයක ඇති වූ විට ඉහළ පාෂාණයන් පහළට කඩා වැටීමෙන් නාය යෑම් ඇතිවිය හැක. එවිට ද විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමි වේ.
එමෙන්ම අති ප්‍රබල බිහිසුණුම අනතුර නම් වෙරළාසන්න සහ සාගරික කළාපවල සිදුවන භූමිකම්පා වලදී අතිබිහිසුණු සාගර තරංග නිර්මාණය වීමයි. මෙම ප්රචණ්ඩ සාගර තරංග සුනාමි තරංග ලෙස හඳුන්වයි. මේවා පැයට කිලෝමීටර් 400ක පමණ වේගයෙන් ගමන් කරන අතර මීටර් 20 සිට මීටර් 30ක් පමණ් උසට විහිදීමට හැකියි. මෙවැනි සුනාමි රළ හවායි, පිලිපීනය, චිලී හා ජපානය ආදී ප්‍රදේශවල බහුලව ඇතිවේ. මෙහිදී වෙරළබඩ ප්‍රදේශය යටවීම, ගොඩනැගිලි හා දේපළ විනාශය, ධීවර වරායන් හා ජැටි, ප්‍රදීපාගාර විනාශ වීම මෙන්ම මිනිස් ජීවිත හානි සිදුවීම ද බහුලය.
අප රටේ 2004 වර්ශයේ දී සිදුවුණු බිහිසුණු සුනාමි අනතුර මීට කදිම උදාහරණයකි. ඉන් අතිවිශාල ජීවිත සංඛ්‍යාවක් විනාශ වූ අතර මහත් දේපළ විනාශයක් ද සිදුවිය. එයින් ඇතිවූ මානව කම්පාව අදටත් භූමිකම්පාවක් තරමටම අතිමහත් ය.
ආසියානු කලාපයේ භූ චලන අඩුම රට වශයෙන් ශ්‍රී ලංකාව පිළිගෙන තිබුණ ද ලංකාව ආශ්රිත භූ චලනයන් ද දැන් සෙමින් සෙමින් වාර්තා වේ. ලංකාවේ බටහිර සිට නැගෙනහිර දෙසට විහිදෙන භූ කලාපය ආශ්‍රිතව මහා පරිමාණ භූමිකම්පාවක් ඇතිවීමේ අවධානම බැහැර කළ නොහැකි බවට භූ විද්‍යාඥයෝ අනතුරු අඟවති.
භූමිකම්පාවක ප්‍රබලත්වය මනිනු ලබන ඒකකය වන්නේ රිච්ටර් මාපාංකයයි.එය මර්සෙල්ලී පරිමාණය ඇසුරින් ද දැක්විය හැකිය. මේ දෙවර්ගයම කැලිෆෝනියා භූ විද්‍යාඥයෙකු වූ චාල්ස් රිච්ටර් විසින් සොයාගන්නා ලදී. වර්තමානයේ දී භූකම්පාවක ප්‍රබලත්වය දක්වනු ලබන්නේ මැග්නිටියුඩ් ඒකකවලිනි.
මෙක්සිකෝව, පීරූ, චිලී, ජපානය, ඉරානය, ඇස්ගනිස්ථානය ආදී රටවල භූමිකම්පා නිතරම ඇතිවේ. භූමිකම්පා අනතුරු අවම කිරීම සඳහා මෙම රටවල ගොඩනැගිලි සෑදීම සඳහා හාඩ්බෝර්ඩ්, කළු වීදුරු ආදිය යොදාගන්නා අතර ගොඩනැගිලි ඉතා ශක්තිමත්ව තනා ඇත. එමෙන්ම භූකම්පනයේ හානිය කරුණු කීපයක් මත රඳා පවතියි. විශාලත්වය හා පැවතුණු කාලය, විභේද රේඛාව චලනය වූ දුර සහ එහි බලය, භූකම්පනය ඇති වුණේ පෘතුවියේ කොපමණ ගැඹුරකින් ද එනම් නාභිය පැවති දුර, ඇතිවන කාලය සහ ස්ථානය හා ගොඩනැගිලිවල ස්වභාවය මත භූකම්පනයේ විනාශය රඳා පවතියි.
රාත්‍රියේ දී සිදුවන භූකම්පන වලදී මිනිස් ජීවිත හානි ප්‍රමාණය වැඩි වන්නේ ඒ කාලයේ දී මිනිසුන් නින්දට පත්වී ගොඩනැගිලි තුළ සිටින නිසාවෙනි. බොහෝ මිනිස් ජීවිත නැති වන්නේ ගොඩනැගිලිවලට යට වීම නිසා වීම එම හේතුවයි.
ප්‍රධාන ජනාවාසයන්ගෙන් බැහැරව සිදුවන භූ කම්පාවලදී මිනිස් ජීවිත හානි අවම අතර අධික ජනගහණයක් පවතින ප්‍රදේශවල මිනිස් ජීවිත හානි වැඩිය.
එමෙන්ම කම්පනයේ හානිය ඇතිවන පොළොවේ ස්වභාවය මත ද රඳා පවතියි. පොළොව මට්ටමේ හෝ ආසන්නයේ ජලය රැඳී අවසාදිත සමඟ ලිහිල්ව පවතින්නේ නම් භූ චලනයකට ඔරොත්තු දීමේ හැකියාව අඩු අතර විනාශය වැඩිය.
මෙම අතිබිහිසුණු අනතුරුවලින් ගැලවීමේ හැකියාව අවම වුවද ස්වභාවික ආපදාවන්ට සූදානම්ව සිටීමෙන් අනතුර අවම කරගතහැකි වේ. ජපානය වැනි භූකම්පා අධික රටවල පාසල් දරුවන්ට භූකම්පා අභ්‍යාස පවත්වනු ලැබේ. එහිදී අනතුරකදී හැසිරිය යුතු ආකාරය පුහුණු කරයි. එහිදී නිවසේ හෝ එළිමහනේ හෝ වාහනයක් තුළ සිටිය දී කම්පනයක් ඇති වු විට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පුහුණු කරයි. එමෙන්ම බොහෝ රටවල් හදිසි ප්‍රතිචාර කණ්ඩායම් හා සහන සේවා කණ්ඩායම් පුහුණු කිරීම් ආදී හදිසි අවස්ථා කලමනාකරණ පුහුණුවන් පවත්වයි.
එමෙන්ම විපතට පත් ජනතාවට ජාත්‍යන්තරයෙන් ලැබෙන මානුෂීය ආධාර ද මෙවන් අවස්ථාවල ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරයි. මෙවන් විපතකට පත් වූ විට ආහාර හා ජලය, ඖෂධ හා ප්‍රථමාධාර පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් අත්‍යාවශ්‍යය. ගැලවීමේ සහන හමුදා කණ්ඩායම්වල සහය ද අත්‍යාවශ්‍යය. ආහාර හා පානීය ජලය හිඟකම, වාසස්ථාන අහිමි වීම, දැඩි මානසික ව්‍යාකූලත්වය, අබල දුබල හා දැඩි ශරීර හානියන්ට පත්වීම මෙන්ම සමීපතමයන්ගේ වියෝව ආදිය නිසා භූමිකම්පාවකට මුහුණ දෙන ජනයා අන්ත අසරණ පීඩිත තත්ත්වයට පත්වේ.
එහිදී හැකි ඉක්මනින් උදව් උපකාර සඳහා මානුෂික උපකාර හා සහන කණ්ඩායම් ලබා දීම අන් රටවල වගකීමයි. එමෙන්ම මෙවන් උපද්‍රවයන්ට ලක්වූ සියලු ජනතාවට ඉක්මන් සුවය හා සහනය ප්‍රාර්ථනා කිරීම වුව ඔවුන් වෙනුවෙන් මානව සංවේදී ජනතාව වශයෙන් අපට කළහැකි හෘදයාංගම යුතුකමක් ද වන්නේය. එනිසා මේ බිහිසුණු විපතට පත් මියන්මාර් හා තායිලන්ත වැසියන්ට ඉක්මන් සුවය ලැබේවා යන්නත් ඉක්මනින්ම ඔවුන්ගේ විනාශ වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත් වේවා යන්නත් අප සැමගේ පැතුම විය යුත්තේය.
Truthlk අපිද විපතට හා අසරණභාවයට පත් මියන්මාර් හා තායිලන්ත වැසියන්ට ඉක්මනින් ඔවුන්ගේ ජීවිත යථා තත්ත්වට පත්වී, සහනය සැනසුම උදා වේවා!යි සහෝදරත්වයෙන් ප්‍රාර්ථනා කරන්නෙමු.



