සංජීවනී පද්මසේන

නුහුරු හැඟීම් ගොන්නක් සිතට එබිකම් කරන අපූර්වතම ආදරයේ ස්පර්ශය සිතට දැනෙන වහාම සිතෙහි මැවෙන්නේ එක්තරා පුෂ්පයකි. ආදරය හා ඒකාත්මික වන හා ආදරය හා බැඳුනු මල් ලොව රැජිණිය ලෙස විරුදාවලිය ලත් රෝස මල් ගැනයි මේ සුන්දර සටහන.
පුංචිම දරුවාගේ සිට වියපත් මහළු පුද්ගලයින් පවා කැමතිම පුෂ්පයක් ලෙස මේ රෝස මල් සැළකීමට හැකිය. රෝස මලක් නැති ගෙවත්තක්, උද්‍යානයක් හෝ අසපුවක් නොමැති තරමට ලංකාවේ පමණක් නොව ලෝකයේම ජනාදරය දිනා ගැනීමට රෝස මල් සමත්ව තිබේ.
නේක වර්ණයෙන් සුපුෂ්පිත ආදරයේ සංකේතයේ ඉතිහාසය ඈත අතීතය කරාම දිවයන්නකි. අවුරුදු පන්දහසකට පෙර කාලයේ පවා රෝස වගාවන් පැවති බවට ඉතිහාසයේ සාක්ෂි හමුවී ඇත. රෝස විශේෂයන් දෙදහස් අටසියයක් පමණ පවතින අතර ඉන් විශේෂ තිස් පහක්ම එංගලන්තයට ආවේණික වේ. විශේෂ සියයක් පමණ වනාන්තර ආශ්‍රිතව වැවෙන වන රෝස මල් ය.
වසර මිලියන තිස් පහකට ඈත අතීත පොසිලවල පවා රෝස පොසිල හමුවී තිබීමෙන් මෙහි ඉතිහාසය කොපමණ පැරණිදැයි සිතාගැනීමට හැකිය. ලෝකයේ උතුරු අර්ධ ගෝලයේ ඇලස්කාවේ සිට මෙක්සිකෝව දක්වාම රෝස විශේෂ එකසිය පනහක් පමණ ව්‍යාප්තව තිබී ඇත.
මීට වසර පන්දහසකට පමණ පෙර චීනයෙන් රෝස මල් ගෙවතු වගාව සඳහා යොදාගෙන ඇති බවට විශ්වාස කිරීමට හැකියි. මධ්‍යම ආසියාව ආශ්‍රිතව වැඩිම රෝස වගාව හමු වී ඇත්තේ රෝම යුගයේ දී වන අතර මංගල අවස්ථාවලට මෙන්ම සුවඳ විලවුන් සඳහා ද රෝස මල් භාවිතා කර ඇත.
දකුණු රෝමය ආශ්‍රිතව විශාල රෝස උද්‍යානයක් පැවති බවට හෙලි වී තිබේ. රෝස මල් නිසාම ඇති වූ යුද්ධයක් ගැන පහළොස් වන සියවසේ දී එංගලන්තයෙන් වාර්තා වී ඇත. එහිදී වංශාධික ප්‍රභූ පවුල් දෙකක් ජීවත් වූ බවත් එක් පවුලක් රතු රෝස මල ඔවුන්ගේ පවුල් සලකුණ ලෙස යොදාගත් අතර අනෙක් පවුල ඒ සඳහා සුදු රෝස මල යොදාගත් බවත් සඳහන් වේ. බලය සඳහා මේ පවුල් දෙක අතර යුද්ධයක් ඇති වුණු බවත් එය “රෝස යුද්ධය” නමින් ප්‍රකාශ කර ඇති බවත් ඉතිහාසයේ සටහන්ව ඇත.
රෝස මල් වැඩිපුරම රූපලාවන්‍ය කටයුතු සඳහා යොදාගන්නා අතර රෝස තෙල්, රෝස තේ, සුවඳ විලවුන් හා සබන් නිශ්පාදනය සඳහාද යොදා ගනියි.

ජීවිත කාලයේ කෙදිනක හෝ රෝස මල් ආශ්‍රිතව මතක සුවඳක් හෝ සිහිවටනයක් නැති කෙනෙක් සොයාගැනීමට අපහසු වන තරමට රෝස මල් හදවත හා බැඳී පවතින ආදරණීය පුෂ්පයකි. නේක වර්ණ රෝස පුෂ්පයන් මඟින් කියවෙන කතන්දර හා සංකේත පිළිබඳව මතයන් රාශියක් ද ලෝකය පුරා පවතියි.
- කෙදිනක හෝ කිසිවෙකුට රතු රෝස මලක් තෑගි ලෙස ලැබුණේ නම් එහි තේරුම එය දුන් තැනැත්තා ඔහුට හෝ ඇයට ආදරය කරන බවයි. රතු රෝස මල ආදරය, විශ්වාසය, පිවිතුරු බව හා සුන්දරත්වයේ සලකුණයි.
- සුදු රෝස මල පිවිතුරු බව, අහිංසක බව, නිහඬ බව සංකේතවත් කරයි.
- රෝස පැහැති රෝස මලෙන් ස්තූතිය පිරිනැමීම, කරුණාව, අගය කිරීම හා මෘදු බව ප්‍රකාශ වේ.
- කහ රෝස මල් මඟින් ප්‍රීතිය, සතුට, මිත්‍රත්වය හා නව ආරම්භයක් ආදිය ප්‍රකාශ කරයි.
- තැඹිලි පැහැති රෝස මල් අපේක්ෂාව හා උද්යෝගය ද, ප්‍රථම ප්‍රේමය ද, රතු සහ සුදු පැහැය මිශ්‍ර මල් එකමුතු බවද සංකේතවත් කරයි.
එමෙන්ම කෙනෙකුට ලැබෙන රෝස මල් ප්‍රමාණය අනුව ද යම් යම් පණිවිඩ කියවෙන බව විස්වාස කෙරේ.
- තනි රෝස මල දැකීමත් සමඟ ඇති වූ ක්ෂණික ආදරය ද, මල් දෙකකින් විවාහ යෝජනාවක් ද, මල් තුනක් මඟින් ආදරය ප්‍රකාශ කිරීම ද, මල් හයක් මඟින් එය ලබන්නා සමඟ එකට ජීවත් වීමට කැමැත්ත ද ප්‍රකාශ වේ. මල් හතක් ලැබුණොතින් දැඩි ස්නේහය ද, මල් නවය මඟින් සදාකාලික සෙනෙහස ද, මල් දහයෙන් එය ලබන තැනැත්තා සර්වසම්පූර්ණ බවද ප්‍රකාශ වේ. මල් දහතුනක් ලැබුණහොත් ලබන්නා කෙරෙහි ඇති සැඟවුණු ගෞරවය එයින් සංකේතවත් කරයි.
එමෙන්ම කළු රෝස මල් පිළිබඳව සුභවාදී ආකල්ප මානව සමාජය තුළ නොමැති තරම් ය. මරණය, සාංකාව, දුක, කලකිරීම, වැලපීම ආදී ඍණාත්මක ආකල්පවල සංකේතයක් ලෙස කළු රෝස මල් සලකන අතර කළු රෝස මලක් තෑගි ලැබීමට කිසි කෙනෙකු කැමති නොවනවාක් මෙන්ම, තෑගි දීමට කිසිවෙක් පෙළඹේවි යැයි සිතීමට නොහැකි තරම් ය.

මතවාදයන් හා විශ්වාසයන් කෙලෙස වුව ද රෝස යනු බහුවාර්ෂික පුෂ්ප හටගන්නා ශාකයක් වන අතර rosaceae කුලයට අයත් වන ගසකි. තියුණු කටු සහිතය. විසිතුරු පැළ ලෙස එළිමහන් උද්‍යාන හා ගෙවතු අලංකරණය සඳහා වටිනාම ශාකයක් ලෙස යොදා ගනියි. රෝස වාණිජමය වශයෙනුත් මහත් වටිනාකමක් දරයි. සුවඳ විලවුන් හා සබන් සෑදීම සඳහා ද කැපූ රෝස මල් ,මල් පොකුරු සෑදීම සඳහා ද යොදා ගන්නා අතර කැපූ රෝස මල් සඳහා වාණිජමය වශයෙන් ඉතා ඉහළ වටිනාකමක් ලැබී ඇත.
පර්සියානු සහ මැදපෙරදිග රටවල ආහාර සඳහා රෝස ඵල යොදා ගනියි. රෝස පෙති හා රෝස පොහොට්ටු රෝස තේ සඳහාත්, වෙනත් ඖෂධ පැළෑටි සමඟ මිශ්‍ර කිරීමෙන් රෝස මිශ්‍ර ඖෂධීය පාන සඳහා යොදා ගනියි. එමෙන්ම රෝස සිරප් සාදා ගැනීමට රෝස මල් භාවිතා කරන අතර රෝස සිරප් මඟින් කැවිලි වර්ග සාදා ගැනීම ප්‍රංශයේ ජනතාව අතර ප්‍රචලිත සිරිතකි. සාම්ප්‍රදායික අත් බෙහෙත් සඳහාත් ඖෂධ වර්ගයක් සඳහාත් රෝස මල් භාවිතා කරන අතර සමහරක් රෝස විශේෂ ආමාශයික ගැටලු සඳහා යොදා ගැනීමට හැකි අතර විටමින් C වලින් ද පොහොසත් බව අනාවරණය වී තිබේ.
රෝස සුවඳ හා රෝස මල යෞවන සිත් ප්‍රේමයෙන් මුසපත් කරවන ආදරණීය සංකේතයක් වන අතරම ඉන් ලැබෙන අනෙක් විපුල ප්‍රයෝජන ද අතිමහත් බව මින් වටහාගත හැකිය.
ශ්‍රී ලංකාවේ ද බොහෝ කවි, ගීත, ටෙලිනාට්‍ය, සිනමාපට හා නවකතා සඳහා ද රෝස මල් වස්තු බීජය වී තිබේ. සංස්කෘතිකමය, ආගමික හා සමාජයීය වශයෙන් ඉතා වැදගත් සුන්දර රෝස මලක් සෑම ගෙවත්තකම වගා කරගැනීම සියලු දෙනාටම පහසු කරුණක් වන අතර රෝස මලින් සුවඳවත් ආදරණීය හදවත් රෝස මල් සේම පිවිතුරු ආදරයෙන් බැඳේවා යන්න රෝස මලේද පැතුම විය හැකිය.
ඉතින් ඔබට ලැබෙන්නේ කුමන වර්ගයේ රෝස මලක් ද හා මල් ප්‍රමාණය කොපමණද යන්නෙන් පැවසෙන්නේ කුමන තොරතුරක් ද යන්න වටහා ගැනීමට හැකි වේවායි රෝස මල් නිහඬව පතනවා විය හැකිය. ඒ පැතුමට ගරු කර අපිද මේ සුන්දර පුෂ්පයේ ආකර්ශණීය බව දෙනෙතින් මෙන්ම මනසින් ද දකින්නට පෙළඹෙමු.
