මොහොමඩ් ආසික්
දිවා කාලය පුරා අතෝරක් නැති ඝෝෂාව මාධ්‍යයේ දහසකුත් එකක් රාජකාරි නිමා කරමින් සවස් කාලය ගෙවී යමින් තිබෙන සිදාදියේ ගෙන්දගම් පොළොවේ රත්ව රත් පැහැ වූ දුහුවිලි අතරින් හිමිහිට එහා මෙහා යන සුරූපී ළලනාවන් සිය රත්පැහැ වූ දෙනෙත් වට පිට යොමුව ඇත්තේ රාගයෙන් පිපාසිත මිනිසුන් වෙනුවෙන් සිය සේවය සැපයීම වෙනුවෙනි.
සිදාදියේ ගෙන්දගම් පොළොවේ දුහුවිලි දිවා කාලයේ අව් රශ්මියෙන් පිළිස්සී විහිදෙන දැඩි රස්නයට නොදෙවැනි රස්නයක් මෙම අබිසරුලියන්ගේ ඇස්වලින් නික්මෙයි. තම ජීවිතයේ සුන්දරම තරුණ කාලයේ තම සැමියාගෙන්, පවුලේ සාමාජිකයින්ගෙන් හෝ පෙම්වතාගෙන් එසේත් නැතිනම් සමාජයෙන් තමන්ට වූ අකරතැබ්බය අද ඔවුන්ව මහ මඟට ඇද දමා ඇත. අප එදිනෙදා සමාජයේ උසස් යැයි සිතා සිටින බොහෝ පිරිමින් නිශාචර වෙමින් රාත්‍රි කාලයේ මෙම ළලනාවන්ගේ පහස ලබා ඇති බව දන්නේ සුළු පිරිසක් පමණකි. රාත්‍රි කාලයේ ඔවුන්ගේ පහස ලබන මොවුන් දිවා කාලයේදී ඔවුන් දුටුවද හැසිරෙන්නේ සුදනන් මෙන් වීම ගැන මෙම ළඳුන් කතා කරන්නේ පිළිකුලෙනි.
තම පවුල, දරුවන් ජීවත් කරවන්නත් තමන් ජීවත් වන්නත් තම ශරීරය දන් දෙන මෙවන් ලියන් කිහිප දෙනෙකුගේ අත් දැකීම් මෙම ගවේශණයට මුල් විය.
ශ්‍රී ලංකාව තුල ලිංගික ශ්‍රමිකයින් කාණ්ඩ කිහිපයක් දක්නට ලැබෙයි. කාන්තා ලිංගික ශ්‍රමිකයින්, පිරිමි ලිංගික ශ්‍රමිකයින් සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයින් මෙන්ම ළමා ලිංගික ශ්‍රමිකයින් ද මෙයට ඇතුලත් වෙයි.
අප අද කතා කරන්නේ ලිංගික ශ්‍රමික කාන්තාවන් කිහිප දෙනෙකුගේ අත් දැකීම් පිළිබඳවයි.
අප සමඟ කතා කළ මෙම කාන්තාවන් කිසිවෙකුගේ අනන්‍යතාවය හෙළි නොකරන අතර ඔවුන් හැඳින්වීම සඳහා මන:කල්පිත නමක්වත් භාවිතා නොකරන්නේ එම නමින් පවා ලිංගික ශ්‍රමික කාන්තාවන් සිටිය හැකි බැවිනි.
අපට හමු වු 55 හැවිරිදි කාන්තාවකගේ අත් දැකීම් මේ.
“ අද මේ ලිංගික ශ්‍රමික රැකියාවට විශාල තරුණියන් පිරිසක් ඇවිල්ල ඉන්නවා. අවුරුදු 22- 23 වයස්වන ඉන්න ළමයි ඉන්නවා.නමුත් ඔවුන් හුඟ දෙනෙක් අයිස් වැනි මත්ද්‍රව්‍යවලට හුරු වෙලා ඉන්නවා. සමහර තැරැව්කරුවන් සහ ලොඩ්ජ්වල හිමිකරුවන් ඔවුන්ව යොදා ගෙන විශාල වශයෙන් මුදල් උපයනවා. රුපියල් 5000 ක් විතර අරගෙන මේ තරුණියන්ට දෙන්නේ රුපියල් 1000 ක් නැත්නම් 2000 ක් . මමත් කලින් ඒ විදිහට රැවටුණා.ඒ වගේ තැනක වැඩ කළා.මම විවාහකයි දරුවෝ තුන් දෙනෙක්. ඉන්නවා. මහත්තයා වැඩ කළේ රජයේ ප්‍රධාන පෙළේ සංස්ථාවක. අපට යහමින් මුදල් තිබුණා. සල්ලි වැඩි වුන නිසාම මහත්තයා වෙන වෙන සම්බන්ධතා ඇති කර ගත්තා. ඒව ගැන මම දැන ගෙන අහන කොට මාත් එක්ක රණ්ඩු කරන්න පටන් ගත්තා පස්සේ ගෙදරට එන එක අඩු කළා.බැරිම තැන මම පොලීසි ගිහිල්ලා දික්කසාද වුණා.අපි දුප්පත් නිසා මට දරුවන් රැක ගන්න ඕන වුණා. ඒ නිසා මම පුද්ගලික ආයතනක රැකියාවකට ගියා.ඔහොම වැඩට යන අතරතුරදී කෝච්චියේදී හමු වුන තරුණ කාන්තාවක් හඳුන ගන්නවා.එයා ලස්සනට ඇඳ පැළඳ ගෙන හැමදාම එනවා. මම ඇහුවා කොහෙද වැඩ කරන්නේ කියලා එයා කිව්වා වීඩියෝ සෙන්ටර් එකක වැඩ කරන්නේ කියලා.පස්සේ මම ඇහුවා මම මේ ආයතනයේ වැඩ කරන්නේ. පොඩි පඩියක් ලැබෙන්නේ. ළමයි තුන් දෙනෙක් ඉන්නවා ඒ නිසා ඒ පඩිය මදි මටත් එතැන රස්සාවක් හදල දෙන්න පුළුවන්ද කියලා.එයා කිව්වා අහල බලල කියන්නම් කියලා . දවස් දෙකකට පස්සේ එයා කිව්වා රස්සාවට එන්න කියලා. පස්සේ මම ආව. ආවට පස්සේ මාව මරදානේ බස්සලා ත්‍රීවීල් එකකට මාව භාර දුන්නා.මම කිසිම දෙයක් දන්නේ නෑ.එයා බෙහෙත් ගන්න යනව කිව්වා.ත්‍රීවීල් එකෙන් මාව එක්කන් ගියේ ලොඩ්ජ් එකකට.ඒකේ කෙල්ලෝ 15 ක් විතර හෝල් එකක නිඳා ගෙන හිටියා.එතකොට මට අවුරුදු 26 යි දරුවෝ පොඩියි. මම එතැන ටික කාලයක් වැඩ කළා. නමුත් පොඩි මුදලක් තමයි ලැබුණේ. පස්සේ මම එතැනින් එළියට ඇවිත් තනියම වැඩ කරන්න පටන් ගත්තා.පාරට ඇවිල්ල හොඳ ගානක් හෙව්වා. දරුවන්ට ඉගැන්නුවා.දරුවෝ තුන් දෙනාම හොඳ තැන්වල ඉන්නවා. අපි පාරට වැටුනේ ඇත්තටම අසරණ කමට.මම මේ දේ කළේ දරුවන් වෙනුවෙන්මයි. එහෙම නැතිව ආශාවන්වලට නෙවෙයි.අපිට ඒවා හිතෙන්නෙවත් නෑ. මම දැන් කෙනෙක් එක්කයි ජීවත් වෙන්නේ. එයා මේ ගැන දන්නේ නෑ. අපිට කිසි කෙනෙක් විශ්වාස කරන්න බෑ. දරුවෝ වුනත් විශ්වාස කරන්න බෑ. දවසක කියන්න පුළුවන් අම්මා මෙහෙමයි කියලා. එදාට වැඩිහිටි නිවාසයකට යන්නවත් අපි ළඟ සල්ලි තියෙන්න ඕන. මම දැන් ඔන්ලයින් තමයි යන්නේ. අපි ලේසියට යන්නෙත් නෑ. ඔන්ලයින් කවුරුහරි කතා කළහම අපි මුලින්ම කියන්නේ අපි යන හෝටලයක් තියෙනවා ඒ හෝටලයේ කාමරයක් වෙන් කරලා කාමර අංකය දෙන්න කියලා. එහෙම දුන්නහම අපි ඒ හෝටලයට කතා කරල තහවුරු කර ගෙන තමයි යන්නේ. සමහර අය ඉන්නව එන්න කියලා අපේ මුදල් පසුම්බි අරන් යන අය.
මුල් කාලයේ ප්‍රශ්න ගොඩක් ආවා. දරුවන් බලා ගන්න බැරි වුණා පස්සේ තැඹිලි කරත්තයක් යට ළමයි තියල මම වැඩ කළා. පස්සේ දරුවන් බලා ගන්න කෙනෙක් හොයා ගත්තා එක දරුවෙකුට රුපියල් 500 ක් දෙන්න වුණා. අපිට එක එක දේවල් කියන්න නම් ඕන තරම් මිනිස්සු ඉන්නවා. රුපියලක්වත් නිකං දෙන්නේ නෑ. පිරිමියෙක් රුපියලක් හරි දෙනව නම් අඩුම තරමින් ඇඟිල්ලක් හරි පාගලා තමයි දෙන්නේ. ටමුමේදී අපි ගුටි කාලත් තියෙනවා. සමහර පිරිමි එක එක දේවල් අපිට කියනවා. තමන්ගේ බිරිඳ එක්ක යන කොට අපිව පෙන්නනවා. එහෙම වුන අවස්ථාවල මම ගිහින් අහල තියෙනවා ඇයි මාත් එක්ක නිඳා ගත්ත එක ගැනද කිව්වේ කියලා.අපි සමාජයේ ගැරහීමට ලක් වෙනවා එහෙම වුනත් අපි අපේ දරුවන් ඉතා හොඳ විදිහටම හදල තියෙනවා.අපි ගිය ආත්මේ කරපු පව් වෙන්නැති මේ ආත්මේ ගෙවන්නේ ඒ නිසා ඒකෙන් මිදෙන්න මේ ආත්මෙදී අපි පින් දහම් කර ගන්නවා. ගොඩක් පින් දහම් කරනවා.
පිට පළාතක සිට අවුරුදු 19 දී කොළඹට පැමිණ ලෝකයේ පැරණිම රැකියාව තොරා ගත් තවත් කාන්තාවකගේ කතාවයි මේ.
මගේ දැන් වයස අවුරුදු 51 යි. මම මුලින් කසාදයක් කර ගත්තා එයාගෙන් දුවක් ඉන්නවා. එයා ගියා දෙවැනි කසාදයකුත් කර ගත්තා එයාගෙන් පුතෙක් ඉන්නවා.දැන් දෙන්නම නෑ. උදේ නවය වෙන කොට මම පිටකොටුවට එනවා. මේ රැකියාවෙන් තමයි මමයි පුතයි ජීවත් වෙන්නේ දුව විවාහ වෙලා වෙනම පදිංචි වෙලා ඉන්නවා.මගේ දුව දන්නේ නෑ මම මේ වගේ රස්සාවක් කරනව කියලා.නමුත් පුතා දන්නවා. මම කෙනෙක් එක්ක ගියොත් යන්නේ ආදරයෙන් මොකද මේක අපේ රස්සාව. එහෙම ආදරයෙන් ගියාම අපට වැඩි වැඩියෙන් ලැබෙනවා. මම නම් මේ රස්සාව නරකයි කියල කියන්නේ නෑ. ඇත්තටම මම දිරිය කාන්තාවක්.
අප සමඟ කතා කළ මෙම ලිංගික ශ්‍රමික කාන්තාවන් දෙදෙනාම කිව් මතු පිට සමාජයෙන් යටව තිබෙන කිසි දිනෙක මතු නොවන ඇඟ හිරිවැටෙන සිදුවීම් කිහිපයක් මේ.
අපි ළඟට එන අය අතර විවිධාකාර විකෘති ආශාවන් තියෙන අය ඉන්නවා. එක්කෙනෙත් ඉන්නවා එයා එන්නේ වේවැලක් අරගෙන .ඒ වේවැලෙන් ගහ ගහ අහනව ආයේ දඩාවතේ යනවද කියලා. වෙන මොනවත් කරන්නේ නෑ. එහෙම ගහල සල්ලි දීල යනවා.තව කෙනෙක් එනවා එයා පෝච්චියක් අරන් එනවා ඒ ඇවිල්ල 5000 දෙනවා. කාමරයට ගිය ගමන් අපි සල්ලි ගන්නවා. විශ්වාස නෑනේ පස්සේ ණයට කියල කිව්වොත්. පස්සේ එයා මේ පෝචිචිය දීල කියනවා මට මොනවත් කරන්න ඕන නෑ. මේකට මුත්‍රා කරල දෙන්න මම ඒක බීල යන්නම් කියලා.හැබැයි මම ඒක කළේ නෑ.මම බැනල එලෙව්වා. ඒත් කැරකී කැරකී ඉන්නවා. තව එක්කෙනෙක් ඉන්නවා එයා ආවහම එයාට අපි ඇඳන් ඉන්න පැන්ටිය එයාට දෙන්න ඕන. ඒකට එයා සල්ලි දෙනවා. අපි ඉතින් පරණම එකක් ඇඳන් යනවා.මේ වගේ මානසික රෝගින් ගොඩක් ඉන්නවා. ඒවා දන්නේ අපි විතරයි. තව එක්කෙනෙක් ඉන්නවා එයා එන කොට ලිප්ස්ටික් කියුටෙක්ස් යට ඇඳුම් වගේ දේවල් අරගෙන එනවා. ඇවිත් කාමරයට 1000 ක් දීල ඇතුලට යනවා.ගිහින් මටත් 2000 ක් දෙනවා. දීල අර ගෙනාපු දේවල් ඔක්කොම මට අර ගන්න කියනවා. එච්චරයි. වෙන මොනවත් කරන්නේ නෑ . එයා යනවා.තව තරුණ එක්කෙනෙක් එනවා එයා එන කොටත් ලිප්සිටික් කියුටෙක්ස් එහෙම අරන් එනවා. ඒවා මකන එකකුත් අරන් එනවා. අරන ඇවිත් කාමරයට ගිහින් මම ගාල තියෙන ලිප්ස්ටික් කියුටෙක්ස් ඔක්කොම මකනවා. මකල එයා ගෙනාපුවා ගානවා. ගාල කණ්නාඩිය ළඟ නෝනයි මහත්තයයි වගේ ඉඳලා යනවා.කැම්පස් ළමයි දෙතුන් දෙනෙක් එනවා. ඒ ළමයින්ටත් විවිධ ආසාවන් තියෙනවා. එක්කෙනෙක් එනවා එයාට මොකුත් කරන්න ඕන නෑ නිකම් තරුල්වෙලා ඉඳලා යනවා. ළඟදි තරුණ ළමයෙක් ආවා ඇවිත් මගෙන් ඇහුවා මට මොනවත් කරන්න ඕන නෑ මාත් එක්ක අයිස් ගහන්න කියලා. මම බැනල එළව ගත්තා. හුඟක් අවස්ථාවන්වල වෙන්නේ තරුණ ගෑණු ළමයි නගරයට ආවහම කුඩු ගහන කොල්ලෙක් එයාව යාළු කර ගන්නවා. ඊට පස්සේ එකට පවුල් කන ගමන් කුඩු විකුණනවා අන්තිමට මේ ගෑණූු ළමයව විකුණනවා.
පොලීසියෙන් නම් අපට නිතර හිරිහැර වෙනවා. අපිට ගහනවා.එක දවසක් පොලීසියෙන් අල්ලලා අයාලේ නඩුවක් දානව කිව්වා. ඉතින් මම රුපියල්100 දඩයනෙ කියල ගියා.නමුත් දාල තියෙන්නේ මත් ද්‍රව්‍යවලට රුපියල් 10,000 ක් දඩ ගැහුවා.මම බුලත් විටත්වත් කන්නේ නැති කෙනෙක්.මේ වගේ සිදුවීම් අනන්තවත් අපට සිදු වෙනවා.
ලෝකයේ පැරණිම රැකියාව ලෙස සැලකෙන මෙම රැකියාව තුළ ජීවත්වන පිරිස 40,000 ක් පමණ වන බවට ඇස්තමේන්තුවක් පවතී.එයින් වැඩි ප්‍රමාණයක් කොළඹ කේන්ද්‍රකර ගෙන සිය වෘත්තිය කළත් දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවලට සැලකිය යුතු පිරිසක් සිටිති.මෙය බරපතල සමාජමය ගැටළුවක් බවට පත්ව තිබුණත් බොහෝ අවස්ථාවන්වල පිරිමින්ගේ අසිමිත ආශාවන් සන්සිඳුවන්නට මෙම කාන්තාවන්ට සිදු වී තිබේ. තම බිරිඳගෙන් ලබා ගත නොහැකි විකෘතිආශාවන් වෙනුවෙන් මෙවන් කාන්තාවන් සොයා යන පිරිමින් කොපමණ ඇත්ද?


