අවුරුදු අසූ අටේදී දෙමළ විෂයට සාමාන්‍ය පෙළ ලියූ මිසි නෝනා

ලක්මිණි නදීෂා

මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගය ඊයේ (26)  දිනයෙන් අවසන් විය.

සාමාන්‍ය පෙළ විභාගය දරුවෙකුගේ ජීවිතයට වැදගත් විභාගයක් වන්නේ එය සිසුවෙකුගේ උසස් අධ්‍යාපනයට පිවිසීමේ තීරණාත්මක කඩඉම් විභාගයක් වන බැවිනි.  

මේ අනුව 1957 දී මහනුවර දිස්ත්‍රික්කයේ ගුරුවරයෙකු ලෙස පත්වීම් ලැබූ මේ වන විට විශ්‍රාමික ගුරුවරියක වන කේ. මිසි නෝනා මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර (අ.පො.ස.) විභාගයේදී දෙමළ භාෂා විෂය සඳහා පෙනී සිට තිබේ.

හොරණ ප්‍රදේශයේ විශ්‍රාමික 88 හැවිරිදි ගුරුවරියක ඇය සාමාන්‍ය පෙළ විභාගයෙන් දෙමළ භාෂා විෂය අසමත් වී ඇත.ඒ හේතුවෙන් මෙවර අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දෙමළ විෂයට ඇය පෙනීසිට ඇත්තේ කෙසේ හෝ සාමාර්’ථයක් ලබා ගැනීමේ අරමුණෙනි.

ඇය 1937 දී අඟුරුවාතොට, ප්‍රබුද්ධගම ගම්මානයේ උපත ලබා තිබේ. වසර 30 කට පෙර ගුරු වෘත්තියෙන් විශ්‍රාම ගෙන ඇත.

ඇය තම මුණුබුරන් සහ ඔවුන්ගේ  මිතුරන් සමඟ හොරණ තක්ෂිලා විද්‍යාලයේ විභාග ශාලාවේදී දෙමළ විෂයට පෙනී සිටියාය.

ඇය කිසිදු ගුරුවරයෙකුගේ උදව්වක් නොමැතිව පොත් කියවීමෙන් තනිවම දෙමළ භාෂාව ඉගෙන ගෙන තිබීම විශේෂත්වයකි.

ඇය ප්‍රකාශ කළේ තමා මහනුවර දිස්ත්‍රික්කයේ මඩුගල්ල ප්‍රදේශයේ ගුරුවරයෙකු ලෙස පළමු පත්වීම ලැබුණු බවත් අධ්‍යාපනය සඳහා වයස් සීමාවක් නොමැති බවය.

මේ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය.

මට මුලින්ම ගුරු පත්වීමක් ලැබුණේ 1957 දී මට වයස අවුරුදු 20 දි. ඒක මහනුවර මඩුගල්ල ප්‍රදේශයේ ඇති දුෂ්කරම පාසලයි. මම රට පුරා පාසල් සිසුන් රැසකට ඉගැන්නුවා. වසර 40ක සාර්’ථක සේවා කාලයක් සම්පූර්’ණ කිරීමෙන් පසු මම 1996 දී විශ්‍රාම ගියා.මම විශ්‍රාම ගිහින් දැන් අවුරුදු 30ක් විතර වෙනවා.  ඒ අතරතුර, ගෙදර නිකන් ඉන්නවට වඩා දෙමළ ඉගෙන ගත්තොත් හොඳයි කියලා මට හිතුනා. මම පොත් කිහිපයක් අරගෙන දෙමළ ඉගෙන ගන්න පටන් ගත්තා. මට ගුරුවරයෙක් නැහැ. මම තනියම පාඩම් කළේ. අද වයස අවුරුදු 88 දී, මම මගේ දහසය හැවිරිදි දරුවන් සමඟ විභාග කාමරයේ වාඩි වී දෙමළ විෂය විභාගය ලිව්වා.අද මගේ ජීවිතයේ සතුටුම සහ අමතක නොවනම දවසක්. ඉගෙනීමට සහ විභාග සමත් වීමට වයස ගැටලුවක් ලෙස නොසලකන මිසි නෝනා ගුරු මෑණියන් සැබවින්ම රටට ආදර්ශයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *