අජිත්ලාල් ශාන්තඋදය

ඇඹිලිපිටිය සීයකණුව ප්‍රදේශයේ තෙමහල් රෙදිපිළි වෙළදසැලක 26දා අලුයම ඇතිවු ගින්නක් නිවාදැමීමට පැය හතකට වැඩි කාලයක් ගතවු බව ඇඹිලිපිටිය පොලිසිය පැවසුවේය.
ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන පාරට මුහුණ ලා මෙම රෙදිපිළි වෙළදසැල පිහිටා තිබුණි. තෙමහල් ගොඩනැගිල්ලෙන් දුමාරයක් පිටවන බව ප්‍රදේශවාසින් මුලින්ම දැක තිබේ. පසුව සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ ගිනි නිවන රථ දෙකක සහාය ද ලබාගෙන පොලිසිය සමග එක්ව ප්‍රදෙශවාසීන් ගින්න නිවීමට උත්සාහ ගෙන තිබුණි.
එහෙත් දහවල් 11.00 පමණ වන තෙක් ගින්න නිවාදැමීමට ඔවුන්ට හැකිවී නැත. ගින්න නිවීමට ගොඩනැගිල්ලේ බිත්ති පවා කඩා දැමීමට සිදුවිය. රෙදිපිළි වෙළදසැල පිහිටි තෙමහල් ගොඩනැගිල්ලට ගින්නේන් දැඩි අලාභහානි සිදුව තිබුණි.
දින කිහිපයකට පෙර විශාල රෙදිපිළි තොගයක් ගෙනවිත් තිබු බවද හිමිකරුවන් විසින් පවසා තිබුණි .සිංහල හින්දු අලුත් අවුරුදු සමය ඉලක්ක කරගෙන ඒවා ගෙනැවිත් තිබුණි. ගින්න නිසා ඒ සියල්ලම දැවී අලුවී ගොස් තිබුණි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නැත.
ඇඹිලිපිටිය නගර සභා බල ප්‍රදේශයේ ගිනිගත් වෙළදසැල පිහිටා තිබුණි. එහෙත් ඇඹිලිපිටිය නගර සභාවේ ගිනි නිවන ඒකකයක් නොමැත.

