දේශපාලන පිල්ලි තවත් රාජ්‍ය ආයතන වල හොල්මන් කරනවා

කිත්සිරි වනසිංහ අනුරාධපුර 

පසුගිය රජයන්වල කටයුතු කළ දේශපාලන පිල්ලි තවදුරටත් රාජ්‍ය ආයතනවල හොල්මන් කිරීම හේතුවෙන්  ජනාධිපතිවරයා ලබා දෙන උපදෙස් හා නියෝග ක්‍රියාත්මක නොවීමේ තත්ත්වයක් රාජ්‍ය  ආයතන තුළ පවතින බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන නාහිමියන් පැවසූහ.

ජනාධිපතිවරයා සහ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක නොවීම ආණ්ඩුවට පමණක් නොව ජනතාවටද අහිතකර තත්වයන් උදාකර දෙන බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ. 

 ඊයේ (25)  පෙරවරුවේ  මිහින්තලා පුදබිමේ දී පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ධම්මරතන හිමියන් මෙම කරුණු අනාවරණය කළහ.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද පැවසූහ.

පසුගිය මාර්තු 14 වැනිදා බුද්ධ ශාසන අමාත්‍යංශයේදී ආයතන 40  පමණ නිලධාරීන් එකතු වී මීළඟ පොසොන් උත්සවය , මිහින්තලා පුදබිමේ ආරක්ෂාව හා ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කළා. ඊට අමතරව ජනාධිපතිතුමන්ගේ නිර්දේශය මත පුදබිමේ ආරක්‍ෂාව පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය ලේකම්වරයා වෙත ලිඛිත නියෝගයක් නිකුත් කරා. නමුත් අද වන තෙක් ඒ පිළිබඳව කිසිදු සටහනක් නෑ. 

පෙර සිටම මිහින්තලා පුදබිමට නිසි ආරක්ෂාවක් සපයා තිබුණා.නමුත් 2023.12.10 පසුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වූ පසුව මේ සියල්ල ඉවත් කළා.

මේ වන විට මණි නාග මන්දිරයේ මල් ආසනය සොරාගෙන ගිහින්. කණ්ඨක චෛත්‍යයේ පාමුල තිබූ ගවයාගේ රුව සහිත නිර්මාණය හොරාගෙන ගිහින්. ඊයේ (24) බීමත්ව වාහනයකින් පැමිණි පිරිසක් මිහින්තලා  මැද මළුවේදී පොඩි හාමුදුරුවරුන්ට බැණ වැදී තර්ජනය කොට පලා ගිහින්. උන්වහන්සේලා වාහනයට යට කරන්නත් හදලා. පලයව් තොපි පන්සලෙන් තොපි පන්නන්න ඕනෑ කියමින් අශෝබන ලෙස හැසිරිලා තිබෙනවා. පසුව පොඩි හාමුදුරුවෝ මිහින්තලේ පොලිසියට දුරකථන ඇමතුමක් ලබා දී සිදුවීම පවසා තිබෙනවා.නමුත් පැමිණි වාහනයේ අංක තහඩුව බලාගන්න හෝ කිසිවෙක් සිට නැහැ. අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක විහිදුණු මිහින්තලේ පුදබිම ආරක්ෂාව සඳහා දැනට යොදා සිටින්නේ පොලිස් නිලධාරීන් හත් දෙනකු විතරයි. මෙම සිදුවීම් වන අවස්ථාවේ එම නිලධාරීන් ද සේවා මුරය අවසන් කොට ගිහින්.

පොලිසිය , සිවිල් ආරක්ෂක බලකාය , හා ත්‍රිවිධ හමුදාව වැනි ආරක්ෂක අංශ තිබියදී මිහින්තලා පුදබිම තුළ එවැන්නක් සිදුවීම සෝචනීය කරුණක්. ජනාධිපතිවරයාගේ නියෝග ඉහළ සිට පහළට ක්‍රියාත්මක වූයේ නම් ඊයේ දිනයේ එවැන්නක් සිදුවන්නේ නැහැ. 

රට පාලනය කරන්නේ මුහුණු පොතෙන් හෝ youtube නාලිකා තුළින් නෙවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවයි. facebook සහ youtube පාලක බලවේගයක් බවට පත්විය යුතු නෑ. ඊට ඉඩ දිය යුතු ද නැත.

එමෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ  මිහින්තලේ කාර්යාලය මගින් පුද බිම තුළ වෙළඳුන්ට උවමනා කටයුතු පමණක් සිදු කෙරෙනවා.  එම නිලධාරීන්ගේ ද සහාය ඇතිව විහාරය සතු බොහෝ දේ කඩා ඉවත් කර දමා තිබෙනවා. ඒ පිළිබඳ සාක්ෂි සහ සාධක ඔප්පු කළ හැකි අයුරින් තිබෙනවා.  වග කිව යුතු රාජ්‍ය නිලධාරීන් නිහඬව මුනිවත රැකීම මෙම ගැටලු වලට හේතුව වී තිබෙනවා. 

ජනාධිපතිවරයා හෝ නව රජය අපහසුතාවයට පත් කරන චේතනාවෙන් මේ කිසිවක් ප්‍රකාශ කළේ නෑ. මේවා පෙන්වා නොදුන්නොත් ජනාධිපතිවරයාගේ හා රජයේ ඉදිරි ගමනට බාධා මතු වන බවත් මෙවර පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහය මත ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා පියවර ගැනීම  ප්‍රශංසනීය කරුණක් බවත් ධම්මරතන හිමියන් මෙහිදී වැඩිදුරටත් පැවසූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *