පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ

ආරච්චිකට්ටුව, බත්තුළුඔය, පයිනබේ පාලම ආසන්නයේදී ලංගම බස් රථයක් අසල තිබු වෙළද සැලක්ද කඩාගෙන දැවැන්ත මාර ගසක ගැටීතිබේ. අනතුරෙන් 20 දෙනෙකු තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුලත් කර ඇති බව ආරච්චිකට්ටුව පොලිසිය කියයි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ නිකවැරටිය ඩිපෝවට අයත් නිකවැරටිය සිට අලුයම ආඩිගම ,කිරියන්කල්ලිය, හරහා කොළඹ බලා ධාවනය වෙමින් තිබු බස් රථයක් බව කියයි.
මෙම අනතුර ද (17) අලුයම 5.30 පමණ සිදුව ඇත. බස් රථයේ ඇතිවු කිසියම් කාර්මික දෝෂයක් හේතුවෙන් රියදුරුට පාලනය කර ගැනිමට නොහැකිව ඇදි ගොස් පයිනබේ පාලම අසලින් මිටර් කිපයක් දුරින් පිහිටි වෙළද සැලක්ද කඩාගෙන ගොස් අසල තිබු දැවැන්ත මාර ගසක ගැටි නැවති ඇති බව කියයි.
අනතුර සිදුවන අවස්ථාවෙදී බස් රථයේ 40 කට වැඩි මගීන් පිරිසක් ගමන් කර ඇති බව පොලිසිය කියයි.
බස් රථය මාර්ගයෙන් ඉවතට පැන වෙළද සැලේ ගැටිම සිදුවන අවස්ථාවේ දි වෙළද සැල තුල කුඩා දරුවන් දෙදෙනෙකු හා ඔවුන්ගේ මව්පියන් නිදාගෙන සිට ඇති බවත්, මොවුන්ට සුළු තුවාල සිදුව දිවි බේරි ඇති බවත් කියයි.
අනතුරීන් තුවාල ලැබු තුවාලකරුවන් හලාවත මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔවුන්ගේ තත්වය එතරම් බරපතල නොවන බවත් හලාවත මහ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා අප කළ විමසිමේදි පැවසීය.
අනතුරින් ගසේ සිරව තිබු බස් රථ රථය දහවල් වන විට ඉවත් කර ආරච්චිකට්ටුව පොලිසිය වෙත රැගෙන යාමට කටයුතු කර තිබු අතර ආරච්චිකට්ටුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දුලින්ද සෝමජීත් මහතා ඇතුළු රථවාහන අංශ නිළධාරීන් පරික්ෂණ ආරම්භ කර ඇති බව කියයි.



