අජිත්ලාල් ශාන්තඋදය
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධූරයට පත් අතිපූජ්‍ය කරන්ගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නායක හිමියන් පැල්මඩුල්ල නගරයේ අති උත්කර්ශවත් අන්දමින් පිළිගනු ලැබීය.
ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය සංවිධානය කරනු ලැබීය. පැල්මඩුල්ල නගරයට වැඩමකළ මහ නා හිමි, සබරගමු සංස්කෘතිය විදහාපාන අලංකාරවත් පෙරහරකින් පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය වෙත වැඩම කරවන ලදී.
ආනන්ද මෛත්‍රිය මහා නායක නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානතම ගෝලයකු වන කරන්ගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති මහා නායක නාහිමිපාණන් වහන්සේ මහා නායක ධූරයට පත්වීම ඉතාමත් සතුටට කරුණක් බව ගෞතම ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ පවසා සිටියහ.
මෛත්‍රීමූර්ති මහ නාහිමි වැඩ සිටින්නේ බළන්ගොඩ මිරිස්වත්ත ශ්‍රී ධමමානන්ද පිරිවෙන් විහාරස්ථානයේය. අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක තනතුරෙන් පිදුම් ලැබීමෙන් පසු කොළඹ සිට බළන්ගොඩ බලා යන ගමනේදී ප්‍රධාන නගර ගණනාවක උන්වහන්සේ පිළිගැනීමට මහමග විශාල තොරණ සිවිකර තිබුණි. බෞද්ධ කොඩි වලින් මග දෙපස සැරසිලි ද කර තිබුණි.
රත්නපුර නව නගරයේ ආනන්ද මෛත්රය භික්ෂු පුහුණු විහාරස්ථානයේ ද විශේෂ පිළිගැනීමේ උත්සවයක් පැවැත්විණි. ක්‍රිස්තියානි, ඉස්ලාම් ආදි අන්‍ය ආගමික ජනතාවද උන් වහන්සේ පිළිගැනිමට උත්සව සංවිධානය කර තිබුණි.
සියක් නමක් උදෙසා මහා සාංඝික දානමය පිංකමක් ද මෙම පිළිගැනීමේ උත්සවයට සමගාමීව පැවැත්විනි. අමරපුර මහා නිකායේ ඉද්දමල්ගොඩ පාර්ශවයේ මහානායක කඳන්ගොඩ සමිත නායක ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය කෝන්ගස්වත්තේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ප්‍රධාන ලේඛකාධිකාරී බලපිටියේ සීවලී නායක ස්වාමීන් වහන්සේ, හිටපු පොලිස්පති ඉලංගකෝන්, පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයේ දායක සභාවේ සභාපති KDU සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ සමන් උපසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ශ්‍රීපාද නාහිමිගෙන් අභිනව නාහිමිට සමරු තිළිණයක්

